මුල් පිටුව උණුසුම් පුවත් ආදිවාසීහු අලුත් පනතකින් අයිතිය ඉල්ලති

ආදිවාසීහු අලුත් පනතකින් අයිතිය ඉල්ලති

0

ආදිවාසි ජනතාවගේ පැවැත්ම, අයිතීන් සහ නිදහස පිළිගෙන ඔවුන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සදහා නීති සම්පාදනය කරමින් නව පනතක් සැකසීම කාලීන අවශ්‍යතාවක් බව ආදිවාසිහු රජයට දන්වා තිබේ.

ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ප්‍රමුඛ මෙරට වෙසෙන ආදිවාසි ප්‍රජාවගේ නායකයෝ රැසක් පාර්ලිමේන්තුවට පැමිණ කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු හමුවී මේ බව අවධාරණය කර ඇත.

ඌව, නැගෙනහිර උතුරු මැද සහ අනෙකුත් පළාත්වල ජීවත් වන ආදිවාසී කණ්ඩායම් හමුවී ඔවුන් මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සකස් කළ ප්‍රතිපත්ති සහ ඉල්ලීම් මාලාවක් කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා වෙත භාර දීම ඊයේ සිදුවිය.

ආදිවාසි ජනතාවගේ උන්නතිය සදහා යම් පියවර විවිධ අවස්ථාවලදී ගෙන තිබුණද ඒවාට නෛතික ශක්තිමත් බවක් නොමැතිවීම නිසා සිය ජීවනෝපාය සිදුකිරීමේදී ආදිවාසි ජනතාවට මුහුණදීමට සිදුවන විවිධ ගැටලු පිළිබඳව ප්‍රාදේශීය ආදිවාසි නායකයෝ මෙහිදී පෙන්වා දුන්හ.

මානව හිමිකම් කොමිසමට අද(18) පැමිණි ආදිවාසි නායක පිරිස

1963 වසරෙන් පසු මෙරට ආදිවාසි ජනතාවගේ දත්ත සම්බන්ධයෙන් සංගණනයක් සිදුකොට නොමැති වීම ගැටලුවත් බව ද මෙහිදී ඔවුහු පැවසීය. 1963න් පසුව සිදුකරන ලද සංගණනවලදී ආදිවාසි ප්‍රජාවගේ දත්ත ‘වෙනත්’ යන කාණ්ඩය යටතේ වර්ගීකරණය කිරීමෙන් අසාධාරණයක් සිදුව ඇති බවත් ආදිවාසි නායකයෝ දන්වා සිටියහ.

මේ අනුව ලොව ඇතැම් රටවල ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් පිළිගෙන වෙනම පනතක් මගින් ඒ සදහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සපයා ඇති අයුරින් මෙරටද ආදිවාසි ජනතාවට එම පිළිගැනීම සහ අයිතිවාසිකම් හිමිවිය යුතු බව මෙහිදී සාකච්ඡා විය.

එසේ ම ආදිවාසී කාන්තාවන් මුහුණ පා තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙන්වා දුන්නේ අදාළ ගැටලු අග්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡා කොට ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සෑම පියවරක්ම ගන්නා බවයි.

එසේම අග්‍රාමාත්‍යවරයා ද පවසා සිටියේ ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා අවශ්‍ය පූර්ණ සහය ලබා දෙන බවයි.

ආදිවාසී නායක පිරිස පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට සහභාගි වී සිටි අයුරු
ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් සමඟ එම නායකයෝ කථානායකවරයා වෙත සිය ඉල්ලීම බාරදෙමින්.
ආදිවාසි නායකයෝ විපක්ෂ නායකවරයා හමුවේ කරුණු දක්වමින්
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version