අනුරාධපුර නව බස් නැවතුම්පොල ආසන්නයේ පිහිටි පුද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයකට මුදල් ඇතුලත් කිරීමට පැමිණි පෞද්ගලික ආයතනයක ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට මිරිස්කුඩු ගසා එම මුදල් කොල්ලකෑමට අද (06) උදෑසන ගත් උත්සහයක් ව්‍යර්ථවී තිබේ.
එහිදී කොල්ලකරුවෙක් සහ ආරක්ෂක නිලධාරියෙක් අතර සිදුවූ පොර බැදීමකදී ආරක්ෂක නිලධාරියෙක් වෙඩි වැදීමකටද ලක්ව ඇත.
ඒ.ටී.එම්. යන්ත්‍රවලට මුදල් තැන්පතු කිරීමේ කටයුත්ත භාරව ඇත්තේ පුද්ගලික සමාගමකටය. එම සමාගම දෛනිකව ඒ.ටී.එම්. යන්ත්‍රවලට මුදල් තැන්පත් කරයි. ඒ අනුව අද උදෑසන 6.31 ට පමණ අදාල සමාගමේ ආරක්ෂකයින් මුදල් බහාලූ පෙට්ටිය බහාලූ බෑගය රැගෙන ඒ.ටී.එම්. යන්ත්‍රය තුළට ඇතුළුවනවාත් සමග ඒ තුළ සිටි පුද්ගලයෙක් මිරිස් කුඩු ප්‍රහාරයක් ආරක්ෂක නිලධාරියාට එල්ලකර කර බෑගය උදුරාගෙන තිබේ. එම අවස්ථාවේදී ආරක්ෂකයින් පැමිණි වෑන් රථය ආසන්නයේ රැදී සිටි තවත් ආරක්ෂකයෙක් සිය ගිනි අවියද රැගෙන මුදල් බෑගය පැහැරගත් පුද්ගලයාගේ ඇගට පැන පොර බදා ඇත. ඒ අවස්ථාවේදී ඒ.ටී.එම්.යන්ත්‍රය පිහිටි බැංකුවේ ආරක්ෂක නිලධාරියා දුවගෙන විත් බෑගය රැගෙන බැංකුව තුළට රිංගා දොරගුළු ලාගෙන තිබේ. ඒ නිසා රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් බේරා ගැනීමට හැකියාව ලැබී ඇත.
කොල්ලකරු පැමිණ ඇත්තේ යතුරු පැදියකින් බවත් ඔහු සමග තවත් අයෙක් පැමිණ ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී ඇත. හිස් වැසුම් දමා මුහුණු ආවරණ පැලද සිටීම නිසා පැහැදිලිවම කොල්ලකරුවන් හදුනා ගැනීමට ලැබී නැත. ඔවුන් සපත්තු පැලද බොටම් කලිසම් හැද ටීෂර්ට් වලින් සැරසී සිට ඇත. බැලූ බැල්මට ඒ අය ආරක්ෂක අංශයකට සම්බන්ධ හෝ සම්බන්ධව සිටි අය බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. මෙම කොල්ලය නිසි සැලසුමකට අනුව සිදුව ඇතැයිද පෙනී යන බව එම නිලධාරියා කීය. මිරිස්කුඩු ගැසූ පුද්ගලයා ඒ.ටී.එම්. යන්ත්‍රය තුළද ඇතුළුවන්නේ මුදල් රැගත් වෑන් රථය එම ස්ථානයට එන්නට සුළු වේලාවක් තුළදී බවත් වෑන් රථය එහි පැමිණෙන වේලාව හොද හැටි දැනගෙනම මෙම කොල්ලය සැළසුම්කර ඇතැයි පෙනී යන බවත් එම නිලධාරියා සදහන් කළේය.
ආරක්ෂක නිලධාරියා සමග පෙර බැදූ පුද්ගලයා පළා යන්නේ උඩ පැනිමින් අපහසුවෙන් බව ආරක්ෂක කැමරා පරීක්ෂාවේදී පෙනී යන බවත් බොහෝ විට ඒ පුද්ගලයාගේ පිදයටද වෙඩි වැදී ඇති බව විශ්වාස කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.