මුල් පිටුව උණුසුම් පුවත් සහරාන් හෂීම් සමඟ සම්බන්ධකම් තිබූ තමිල්නාඩු අයිඑස් ත්‍රස්ත සැකකරුවකු අත්අඩංගුවට

සහරාන් හෂීම් සමඟ සම්බන්ධකම් තිබූ තමිල්නාඩු අයිඑස් ත්‍රස්ත සැකකරුවකු අත්අඩංගුවට

0

මෙරට පාස්කු ප්‍රහාර මාලාව මෙහෙයවූ අයකු ලෙස සැළකෙන මරාගෙන මැරුණු බෝම්බකරු සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පැවැත්වූ බව කියන අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ තමිල්නාඩු මොඩියුලයේ මහමොළකරු ලෙස සැලකෙන මොහොමඩ් අසරුදීන් ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඉන්දියාවේ කොයිම්බතූර්හි ස්ථාන 7ක සිදුකළ විශේෂ වැටලීමකින් අනතුරුවයි.

පසුගිය ඔක්තෝබර් 23 වැනිදා තමිල්නාඩුවේ කොයිම්බතූර් ප්‍රදේශයේ සිදුවූ පිපිරීමේ සැකකරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මොහොමඩ් අසාරුදීන්ගේ ඇප ඉල්ලීමට එරෙහිව NIA විසින් කේරළ අධිකරණයක් හමුවේ ගොනු කළ වාර්තාවේදී පවසා ඇත්තේ සැකකරු, ශ්‍රී ලංකා බෝම්බකරු සහරාන් හෂීම් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවයි.

මොහොමඩ් අසාරුදීන් බෝම්බකරුවන් සමඟ පැවති සංවාදවලදී ‘ලොකු සැලසුමක්’ ගැන සාකච්ඡා කර ඇති බව NIA සොයා ගෙන ඇත. මෙම සංවාදය 2019 පාස්කු දිනයේ කොළඹ දේවස්ථානයක පිපිරීමට පෙර සිදු වූවක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

මෙම සංවාදය විත්තිකරු අසාරුදීන් සහ ලොව පුරා තහනම් සංවිධානයක් වන ISIS අතර ඇති සම්බන්ධය පෙන්වා දෙන ප්‍රබල අවස්ථාවක් බව NIA මීට පෙර අධිකරණයට ප්‍රකාශ කළේය. එහිදී මෙම සැකකරු සම්බන්ධ වූ තවත් කිහිපදෙනකු පිළිබඳවද හෙළිවී තිබුණි.

සැකකරු අත්අඩංගුවට ගැනීමේ එම සෝදිසි කිරීම්වලදී ජංගම දුරකථන 14ක්, සිම්කාඩ්පත් 29ක්, පෙන් ඩ්‍රයිව් 10ක්, ලැප්ටොප් තුනක්, දත්ත ගබඩා කාඩ්පත් 6ක්, දෘඪ තැටි ඩ්‍රයිව් හතරක්, අන්තර්ජාලයට සම්බන්ධ කරන ඩොංගලයක් සහ සීඩී/ඩීවීඩී 13ක්, කිනිස්සක්, විදුලි බැටන් පොල්ලක්, වායු-තුවක්කු පෙති 300ක් සහ චෝදනා එල්ල වන ආකාර‍යේ ලියකියවිලි විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව NIA නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

චූදිතයන්ගේ නිවෙස්වලින් සහ සේවා ස්ථානවලින් ඉන්දීය දේශපාලන පක්ෂ දෙකක අත් පත්‍රිකා කිහිපයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 32 හැවිරිදි මොහොමඩ් අසාරුදීන් සහ කොයිම්බතූර්හි තවත් පුද්ගලයින් පස් දෙනෙකු විසින් මෙහෙයවන ලද බව කියන මොඩියුලයට එරෙහිව මේ වසරේ මැයි 30 වන දින නඩුවක් ගොනු කරන ලදී.

2019 අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9 දෙනෙකු පමණ සම්බන්ධ වූ බෝම්බ ප්‍රහාර මාලාවේ වගකීම ISIS සංවිධානය භාරගෙන තිබුණි. එම ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පුද්ගලයන් 258කට ආසන්න පිරිසක් මිය ගොස් තවත් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version