තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය අංශයේ නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදය අසාර්ථකයි - මහබැංකුව

    රාජ්‍ය අංශයේ නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදය අසාර්ථකයි – මහබැංකුව

    ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයට ගොදුරු වීමෙන් පසු රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක කරන ලද නිවසේ සිට වැඩ කිරීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් සාර්ථක නොවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් හා සාක්ෂරතාව සම්බන්ධ ගැටළු ඊට හේතු වූ බව මහබැංකුව සිය නවතම වාර්ෂික වාර්තාවෙන් අවධාරණය කරයි.

    COVID-19 අගුළු දැමීමේ හා ඇඳිරි නීතිය යටතේ රාජ්‍ය අංශයේ ඊමේල් සන්නිවේදනය විධිමත් කෙරිණි.

    එහෙත් රාජ්‍ය අංශයේ බොහෝ රැකියා නිවසේ සිට ඉටු කිරීමට නුසුදුසු බැවින් උත්සාහය බලාපොරොත්තු වූ පරිදි සිදු නොවූ බව මහබැංකුව පෙන්වා දෙයි.

    ඩිජිටල්කරණයේ වර්තමාන තත්ත්වය අනුව සාමාන්‍ය ජනතාවට සපයනු ලබන මහජන සේවාවන්ගෙන් බහුතරයක් පුද්ගලිකව ඉටු කිරීම වෙනුවෙන් සකසා තිබීම ඊට හේතුවයි.

    රාජ්‍ය අංශය තුළ තවමත් ලේඛන කටයුතු හා ක්‍රියා පටිපාටිවලින් වැඩි ප්‍රමාණයක් ඩිජිටල්කරණය කර නොමැත.

    මේ හේතුවෙන් දුරස්ථ වැඩ කිරීම හෝ සේවා ස්ථානයෙන් බැහැරව අදාළ කාර්යයන් ඉටු කිරීමේදී අතපසු වීම් හා අකාර්යක්ෂමතාවයන් ඇතිවිය හැකි බව මහ බැංකුව පවසයි.

    “එවැනි තත්වයන්ට අදාළ නියමයන් හා කොන්දේසි සම්බන්ධයෙන් නිසි නීති සම්පාදනය කරමින් නිවසේ සිට වැඩ කළහැකි කර්මාන්ත, සමාගම්, රැකියා වර්ග සහ රැකියා කාර්යයන් පිළිබඳ පැහැදිලි හඳුනා ගැනීමක් සහ ඒ ගැන තක්සේරුවක් තිබිය යුතුය” යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතා මට්ටම ඉහළ නැංවීම සඳහා සම්බන්ධීකරණ පියවර ගණනාවක් ඉටුකිරීම අත්‍යවශ්‍ය බව එම වාර්තාවේ දැක්වේ.

    අවශ්‍ය අධීක්ෂණ මට්ටම, ප්‍රමාණවත් ලබා ගැනීමේ හැකියාව, භෞතික හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සහ උපකරණවල ගුණාත්මකභාවය සහ සේවකයින්ගේ ජීවන තත්ත්වයන් අනුව එක් එක් සේවා සැපයීම් තක්සේරු කිරීම අවශ්‍ය වේ.

    ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව (2020) ශ්‍රී ලංකාවේ පරිගණක හා ඩිජිටල් සාක්ෂරතාව සියයට 30.8 ක් සහ සියයට 46.0 ක් වේ.

    දිගුකාලීනව නිවසේ සිට වැඩ කිරීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා, පුළුල් ජාල ආවරණයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

    මෙහිදී පරිගණක හා ඩිජිටල් සාක්ෂරතාව වැඩි දියුණු කළ යුතු බවද වාර්තාවේ දැක්වේ.

    රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමේ දී දත්ත හා දත්තවල ආරක්ෂාව උල්ලංඝනය වීම් හා ඒ සම්බන්ධ තර්ජන වැඩිවන බව ද පිළිගත යුතු යැයි මහ බැංකුව අනතුරු අඟවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img