මුල් පිටුව උණුසුම් පුවත් අවයව බද්ධය ගැන නම කියවුණු රෝහල ගැන පුළුල් විමර්ශනයක් – රෝහලේ අවයව...

අවයව බද්ධය ගැන නම කියවුණු රෝහල ගැන පුළුල් විමර්ශනයක් – රෝහලේ අවයව බද්ධකිරීම් නවතයි

0

පෞද්ගලික රෝහලකදී අවයව බද්ධ කළ බව කියන සිද්ධිය පිළිබඳව ඇතැම් මාධ්‍ය මගින් පළ වු වාර්තා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත් පුද්ගල විමර්ශන කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පත් කර තිබේ.

පූර්ණ විමර්ෂණයක් සිදු කර එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගන්නා තෙක් එම රෝහලේ අවයව බද්ධ කිරීම ද තාවකාලිකව නවතා දමා ඇත.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු ඇතුළු කණ්ඩායමක් මේ සඳහා පත් කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පළ වු මාධ්‍ය වාර්තා හා ලද තොරතුරු ඔස්සේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ දැනුම ඇති විශේෂඥ වෛද්‍යවරුන්, නීති නිලධාරීයෙකු, විමර්ශන නිලධාරීයෙකු පත්කර ඇති බවයි.

ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකිරීමට මසක පමණ කාලයක් ගත වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,
“එම කමිටුවේ කාර්යභාරය, සමාජ මාධ්‍ය හා මාධ්‍ය මගින් ප්‍රචාරය වු කරුණුවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමත්, එවැනි කටයුත්තක් සිදු වී ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස ගතයුතු ක්‍රියා මාර්ග කුමක්ද යන්න නිර්දේශ කිරීමත්. මෙයට අමතරව ඇතැම් මාධ්‍ය මගින් වෘෂණ කෝෂ බද්ධ කිරීමක් පිලිබදවද අසන්නට ලැබුණා. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස එවැනි බද්ධ කිරීම්වලට අවසර හෝ අවස්ථාව ලබා දී නැහැ. එමෙන්ම සායනික වශයෙන් හෝ පර්යේෂණාත්මක වශයෙන් එවැනි බද්ධ කිරීම් සිදු කර නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි. පත් කළ කමිටුවට ඒ පිළිබදවත් සොයා බැලීමට නියම කර තිබෙනවා. සම්පුර්ණයෙන්ම මේ පිළිබඳ විමර්ෂණයක් සිදු කර එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගන්නා තෙක් එම රෝහලේ අවයව බද්ධ කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා.”

මෙහිදී අදහස් දැක්වු පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන කොමිෂන් සභාවේ ලේකම්, පෞද්ගලික වෛද්‍ය සේවා (සංවර්ධන) අංශයේ අධ්‍යක්ෂ ධම්මික අලහප්පෙරුම මහතා,
“පසුගිය දින වල මාධ්‍ය මගින් වාර්තා කෙරුණු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙනවා. එම ආයතනය තුළ වකුගඩු බද්ධ කිරීමේ දී සිදු වෙතැයි කියන අක්‍රමිකතා පිළිබඳව විමර්ෂණ සිදු කරනවා. මෙයට අමතරව පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියටද ඒ පිළිබදව විමර්ෂණයක් පවත්වන ලෙසට. මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් මේ සම්බන්ධව පරීක්ෂණ දෙකක් පැවැත්වෙනවා.”

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version