බඩඉරිඟු වගාව සඳහා සිය පාරම්පරික නිජබිම් එළිකොට පෞද්ගලික සමාගම් වෙත එම ඉඩම් පවරාදීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් ගොනුකර ඇති පෙත්සම ලබන ජූලි මස 13 වෙනිදා සලකා බැලීම අභියාචනාධිකරණය අද (03) තීරණය කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියෙහි අද (03) මෙම පෙත්සම කැඳවනු ලැබීය.
මෙම පෙත්සම මීට පෙර කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට දන්වා තිබුණේ වැදි ජනතාවට අයත් පාරම්පරික ඉඩම් අත්පත්කර ගැනීමක් එහිදී සිදුවී නොමැති බවය. එහිදී විනිසුරු මඩුල්ල ඉල්ලා සිටියේ පවරා ගැනීමට සූදානම් වන ඉඩම් පිළිබද විස්තර ඇතුලත් සිතියමක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.