fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කටාර් චැරටි ලියාපදිංචි නොකරන අධ්‍යක්ෂ ජනරාල්ට බලපෑම්

    කටාර් චැරටි ලියාපදිංචි නොකරන අධ්‍යක්ෂ ජනරාල්ට බලපෑම්

    මෙරට තහනම් සංවිධානයක් ලෙස ලැයිස්තු ගත කර තිබෙන කටාර් චැරටි සංවිධානයට ලියාපදිංචිය නොදුන්නැයි රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලපෑම් එල්ල වී ඇත.

    ඒ අනුව වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කරමින් හෝ මෙම ලියාපදිංචිය තහවුරු කර ගැනීමේ උත්සාහයක් පවතින බව රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ නිල නොලත් මූලාශ්‍ර ඔස්සේ හෙළි වී තිබේ.

    අන්තවාදී හෝ ත්‍රස්ත්‍රවාදී ක්‍රියාවලට අනුබල දීම හෝ පහසුකම් සැපයීම මෙන්ම මුදල් යෙදවීමේ ක්‍රියාවලිය අනුව මහ බැංකු නිර්දේශ අනුව තහනම් කර තිබූ මෙම කටාර් චැරටි ආයතනය මේ දක්වා තහනම් ආයතන ලැයිස්තුවෙන් ඉවත් කර නැත.

    එසේ තිබිය දී කටාර් රාජ්‍ය සමඟ ඇතිකරගන්නා ගිවිසුම් ප්‍රකාරව මෙම කටාර් චැරටි සංවිධානයේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් ප්‍රකාශ නිකුත් කර තිබිණි.

    එසේ වුව ද මේ දක්වා අදාළ සංවිධානයේ සාමාජිකයන්ට පනවා තිබූ ගුවන් ගමන් තහනම් පවා ඉවත් කර නොමැති පසුබිමක රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාල අධ්‍යක්ෂ ජනරාල්වරයා නව ලියාපදිංචිය පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

    මේ හේතුවෙන් අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කරමින් කටාර් චැරටි ආයතනය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විවිධ බලපෑම් එල්ල වෙමින් තිබෙන බව සඳහන්ය. කෙසේ වෙතත් මේ පිළිබඳ තොරතුරු විමසීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යවර්ථ විය.

    මෙසේ තහනම් සංවිධානයක් ලෙස නම් කොට තිබෙන කටාර් චැරටි ආයතනය සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 16 වැනිදා සමගිජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම පක්ෂයේ මාධ්‍ය හමුවක අදහස් දක්වා තිබිණි.

    කටාර් චැරටි ආයතනය ඩොලර් මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ දුවා දරුවන්ගේ යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් මාසිකව වැය කර තිබෙනවා. මේ තහනම කිසිදු අවශ්‍යතාවක් නොමැතිව කර ඇති තහනමක් යැයි මුජිබර් රහුමන් මහතා පවසයි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.