ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින කිසිදු සංගමයක ප්‍රධාන තීන්දු තීරණ ගන්නා නිලධාරින් සහ අමාත්‍යාංශයේ නිලධාරීන් ක්‍රීඩා තරඟමාලා නියෝජනය නොකළ යුතු බවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නියෝග කර තිබේ.
නිලධාරීන් එසේ සහභාගිවීමෙන් හදිසි අවස්ථාවලදී අත්‍යාවශ්‍ය තීන්දු තීරණ ගැනීම අතපසු වන අතර අනවශ්‍ය වියදමක් ද සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ක්‍රීඩා සංගම්, ජාත්‍යන්තර සංගම් සමග කටයුතු කිරීමේ දී විශේෂ වැඩසටහන්, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී කටයුතු සඳහා සහභාගි වන්නේ නම් ඒ පිළිබඳව සවිස්තර වාර්තාවක් කලින් ලබාදී ඒ සඳහා විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතු යැයි ද අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර ඇත.
ඔහු මෙම පියවර ගෙන ඇත්තේ මෙවර කොලොම්බියාවේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගි කිරීමට නොහැකි වූ දරුවන්ට සිදු වූ අපහසුතාවය දැනුවත් වීමෙන් පසු ඒ පිළිබඳ සොයා බලා එවැන්නක් සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරමිනි.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
“මෙවර කොලොම්බියාවේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලිය (world u20 championship 2022) සඳහා සහභාගිවීමට දරුවන් හත් දෙනෙකු තේරී පත්වී තිබුණි. දරුවන් හත් දෙනෙකු සුදුසුකම් සපුරා තිබුණ ද ඔවුන්ට ඒ සඳහා සහභාගිවීමට මුදල් නොමැතිකම ප්‍රධාන හේතුව වී ඇති බව දැන ගන්නට ලැබුණි.
එම දරුවන් සඳහා ප්‍රතිපාදන ක්‍රීඩා සංවර්ධන අරමුදල මගින් ලබාදෙන ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන් අතර, ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය පහසුකම්, තොරතුරු හා මැදිහත්වීම සිදු කරන ලෙස මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයාට ද දැනුම් දෙන ලදී. නමුත් එම කටයුතු විධිමත් අයුරින් සිදු නොවූ බව පසුගිය 29 වන දින දැනගැනීමට ලැබුණි.
ඒ පිළිබඳ සොයා බැලූ විට දැනගැනීමට ලැබුණේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා සහ මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ සඳහා විදෙස්ගත වී සිටින බවයි. කාගෙන් හෝ අඩුපාඩුව සිදුවුන ද දරුවන්ට සිදු වූ එම අපහසුතාවය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස බලවත් ලෙස කණගාටුව පළකරයි.
මෙවැනි ගැටලු ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ ක්‍රීඩා සංගම්වල නිලධාරීන් සහ අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම තරඟ සඳහා සහභාගි වීමයි. මෙම දරුවන්ගේ අවශ්‍යතාවයන්ට මූලිකත්වය නොදී මෙසේ සංචාරය කිරීම මෙම ගැටලු වලට ප්‍රධාන හේතුවයි. එය අවශ්‍ය කාරණයක් නොවේ.
මින් ඉදිරියට සුවිශේෂී කාරණයක් හැරෙන්න කිසිම සංගමයක ප්‍රධාන තීන්දු තීරණ ගන්නා නිලධාරින් සහ අමාත්‍යාංශයේ නිලධාරීන් ක්‍රීඩා තරඟමාලා නියෝජනය නොකළ යුතු අතර එසේ සහභාගිවීමෙන් අනවශ්‍ය වියදමක් ද සිදුවේ.
ක්‍රීඩා සංගම් , ජාත්‍යන්තර සංගම් සමග කටයුතු කිරීමේ දී විශේෂ වැඩසටහන්, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී කටයුතු සඳහා සහභාගි වන්නේ නම් ඒ පිළිබඳව සවිස්තර වාර්තාවක් කලින් ලබාදී ඒ සඳහා මගේ අනුමැතිය ලබාගත යුතු යැයි ද අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කරන ලදී” යනුවෙන් අමාත්‍යවරයා කළ නියෝගය එම නිවේදනයේ දැක්විණ