තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්1993 වූ දේ යළිත්! වැඩබලන අගමැති දිනේෂ්?

    1993 වූ දේ යළිත්! වැඩබලන අගමැති දිනේෂ්?

    ජනාධිපති ධුරය හිස්වීමෙන් පසු, නව ජනාධිපතිවරයෙකු පත් කරගන්නා තෙක් වත්මන් අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයේ වැඩ බැලීමට දිවුරුම් දීමත් සමඟ අග්‍රාමාත්‍ය ධුරය හිස්වන බැවින්, ඔහු විසින් අගමැති ධුරය සඳහා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු පත්කළ යුතු වේ.

    මේ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 40 (1) (ඇ) වගන්තියේ සඳහන් වෙයි.

    ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීම ආරම්භ කර ඇති අතර ඔහු අගවිනිසුරු ඉදිරියේ, අද එම ධුරයේ දිවුරුම් දුනි.

    ව්‍යවස්ථාවට අනුව ඔහු දැන් අගමැති ධුරය සඳහා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු පත්කළ යුතුය. 1993දී මෙසේ අගමැති වූයේ එවකට සභානායක වූ රනිල් වික්‍රමසිංහ මහතාය.

    ඒ, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක්වීම නිසා, එවකට සිටි අගමැති ඩී.බී.විජේතුංග මහතා, වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමත් සමග, විජේතුංග මහතා, එවකට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස කළේය.

    එහිදී සම්ප්‍රදාය වූයේ අගමැතිගෙන් පසු පාර්ලිමේන්තුවේ සභානායකවරයා ජ්‍යෙෂ්ඨ හා සුදුස්සා ලෙස සැලකීමේ ක්‍රමවේදයයි.

    ඒ අනුව මෙවර සභානායක වන, අමාත්‍යවරයෙකුද වන ජ්‍යෙෂ්ඨයාද වන, දිනේෂ් ගුණවර්ධන මහතා වැඩබලන අගමැති ධුරයට පත්වීම සිදුවනු ඇතැයි සඳහන් ය.

    හිටපු ජනපතිගේ ඉතිරි කාලය සඳහා, පාර්ලිමේන්තුව මගින් ජනාධිපතිවරයෙකු පත් කර ගන්නේ ඉන් අනතුරුවය.

    එය සිදුවීමට නියමිතව ඇත්තේ, 2022.07.16 පාර්ලිමේන්තුව රැස්වී පවතින තත්ත්වය හා අනුගමනය කරන ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමය කතානායකවරයා පැහැදිලි කිරීමෙන් පසු, 2022.07.19 පාර්ලිමේන්තුව රැස්වීමත් සමගය.

    එදින නාමයෝජනා කැඳවා, එකකට වැඩි නාම යෝජනා ඉදිරිපත් වුවහොත් 20 වනදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත.

    ඒ ගැන ආණ්ඩුක්‍රම,ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ, 40 (1) (අ) වගන්තියේය.

    ඒ අනුව කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව ක්‍රියාකරනු ඇත.

    මේ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ මෙසේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img