
ජනාධිපති මන්දිරය දෙසට ඇතුළුවීමට උත්සහගත් අරගලකරුවන් දෙසට යුද හමුදාවේ භට කණ්ඩායමක් වෙඩි තැබීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පොලීසිය ආරම්භකර තිබේ.
එම වෙඩි තැබීම සම්බන්ධයෙන් බී වාර්තාවක් මඟින් කොටුව අධිකරණයට කරුණු දැක්වීමක්ද පොලීසිය කර ඇත. ඒ අනුව එම ස්ථානය මහේස්ත්‍රාත් නිරීක්ෂණයටද ලක්ව තිබේ.
අරගලයේ නිරතව සිටියදී හමුදාව තැබූ එම වෙඩිල්ලක් වැදුණු පුද්ගලයෙක් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියි. හිසට දැඩිව හානි සිදුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගියා වෙඩි වැදීමකින් එසේ තුවාල ලබා ඇතැයි මුලින් කියැවුණත් ඔහු තුවාල ලබා ඇත්තේ මොට ආයුධයකින් එල්ල වුණු පහරකින් බව වෛද්‍යවරු මේ වන විට පොලීසියට තහවුරුකර තිබේ.
යුද හමුදාව විසින් කරනු ලබන එම වෙඩි තැබීම ඒ ආසන්නයේ වූ බැංකුවක ආරක්ෂක කැමරාවක සටහන්ව ඇත. එම කැමරාවේ දර්ශන ඉදිරි විමර්ශන සඳහා පොලිස් භාරයට ගැනීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ද පොලීසිය අවශ්‍ය පියවර ගනිමින් සිටිති.
අරගලකරුවන් දෙසට වෙඩි තැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දැනුම් දීමකට අනුව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ නියෝගයකින්ද යන්න පිළිබදවද එහිදී විශේෂ අවධානයක් විමර්ශන නිලධාරීන් යොමුකර ඇත.
වෙඩි වර්ෂාවක් තැබුවද වෙඩි තැබූ ස්ථානයෙන් කිසිදු හිස් පතොරම් කොපුවක් හමුවී නැති බවද පොලීසිය සදහන් කරයි. වෙඩි තැබූ ගිනි අවි හදුනා ගැනීමට හිස් පතොරම් කොපු තිබීම වැදගත් බැවින් ඒ බව දැනගෙන හිස් පතොරම් කොපු අතුරුදන් කරන්නට කිසියම් අයෙක් හෝ පිරිසක් පියවර ගන්නට ඇතැයි පොලීසිය සැකකරයි. ඒ බව ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂාවෙන් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
රජයේ රස පරීක්ෂකවරයා ද ස්ථානීය පරීක්ෂාවක් පවා සිදුකර තිබේ. එම ස්ථානයේ තිබුණු ලේ සාම්පල් විමර්ශන කටයුතු සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් ලබාගෙන ඇත.