
මෙරට ප්‍රධාන පෙළේ බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද සහ නාලන්දා විදුහල් අතර 92 වැනි වරට පැවත්වූ “සුලෝහිත සංග්‍රාමය“ වාර්ෂික මහා ක්‍රිකට් තරගයයේ ජය වසර 69කට පසු නාලන්දා විද්‍යාලය විසින් හිමිකර ගත්තේය.
එස්.එස්.සී. ක්‍රීඩාංගනයේ ඊයේ (10) සහ අද (11) පැවති මෙම ක්‍රිකට් සංග්‍රාමයේ දී නාලන්දා විද්‍යාලය කඩුළු 09 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තේය.
ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර සිසු සුහඳත්වය සහ සිසු සබඳතා වර්ධනයකර ගැනීමත් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවත් අරමුණුකර ගනිමින් 1924 වර්ෂයේදී “සුලෝහිත සංග්‍රාමය“ ආරම්භ වූ අතර 1953 වසරේ දී හිමිකරගත් ජයග්‍රාහනයෙන් පසු නාලන්දා විද්‍යාලය ජයග්‍රාහනයක් හිමිකර ගන්නේ මෙවරය. එය නාලන්දා විද්‍යාලය විසින් දිනාගත් 07 වැනි ජයග්‍රාහනය වන්නේ මෙයයි.
ආනන්ද විද්‍යාලය ජයග්‍රාහන 12ක් මේ කාලය තුළ හිමිකරගෙන ඇති අතර සුලෝහිත සංග්‍රාමයේ වැඩි ගෞරවයක් හිමිකරගෙන ඇත්තේ ආනන්ද විද්‍යාලය විසිනි. ආනන්ද විද්‍යාලය විසින් අවසන් වරට ජයග්‍රාහනයක් හිමිකරගෙන ඇත්තේ 2003 වසරේදීය. සෙසු තරග නිමාවී ඇත්තේ ජය පැරදුමකින් තොරවය.
මෙවර තරගාවලියේ ප්‍රථමයෙන් පංදුවට පහරදුන් නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම කඩුළු 09ක් දැවී ලකුණු 289ක් ලබා ගනිමින් සිය පළමු ඉනිම අවසන්කර ආනන්ද විද්‍යාලයට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. ආනන්ද විද්‍යාලයීය පළමු ඉනිම ලකුණු 139කට සීමා කිරීමට නාලන්දා විද්‍යාලය සමත් විය. අනතුරුව නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම විසින් දෙවැනි ඉණිම ක්‍රීඩා කිරීමට ආනන්ද විද්‍යාලයට ආරාධනා කරනු ලැබීය. එහිදී ද ලකුණු 180කට ආනන්ද විද්‍යාලය සීමා කිරීමට නාලන්දා විද්‍යාලය සමත් විය. ඒ අනුව ජයග්‍රාහනය වෙනුවෙන් නාලන්දා විද්‍යාලයට අවශ්‍ය වූයේ ලකුණු 31ක් පමණි. එක් කඩුල්ලක් පමණක් දැවී නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම ජයග්‍රාහී ලකුණ ලබාගනු ලැබුවේ 69 වසරක් තිස්සේ අහිමිව තිබුණු ජයග්‍රාහනයක් උරුමකර ගනිමිනි.
දිවංගත ආචාර්ය එන්.එම්. පෙරේරා අනුස්මරණ අභියෝග ශූරතාව වෙනුවෙන් පැවැත්වූ මේ තරගයේදී ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නෙත්ම කරුණාරත්නට හිමිවූ අතර නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයැවීමේ වගකීම දරණු ලැබුවේ ෂෙහාන් සමරවීරයි.
ආනන්ද විදුහල්පති ලාල් දිසානායක සහ නාලන්දා විදුහල්පති තිලක් වත්තුහේවා මහත්වරුන්ගේ මඟ පෙන්වීම මත මෙම තරගය ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් තොරව මෙවර පැවැත්විය.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් දායාද කිරීමේ සාඩම්බර ඉතිහාසයක් මේ පාසල් ද්විත්වය සතුව ඇත.
ශ්‍රී ලංකාවට 1996 වසරේදී එක්දින ලෝක ක්‍රිකට් කිරුළ දිනා දුන් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුණි, මාවන් අතපත්තු, චන්දික හතුරුසිංහ, තිලාන් සමරවීර, සචිත්‍ර සේනානායක සමඟ වත්මන් ජාතික කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් ආනන්ද විදුහලෙන් බිහි වූ කැපී පෙනෙන ක්‍රීඩකයෝය.
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වූ දිවංගත බන්දුල වර්ණපුර සමඟ එක්දින ලෝක කිරුළ දිනූ කණ්ඩායමේ සාමාජිකයන් වන අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම, කුමාර් ධර්මසේන මෙන්ම මහේල ජයවර්ධන ද නාලන්දා විදුහලේ ක්‍රිකට් පිටියට පිවිසි කැපී පෙනෙන ක්‍රීඩකයෝය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල, වත්මන් සභාපති ශම්මි සිල්වා ද නාලන්දයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකි.
ආනන්ද විදුහල් කණ්ඩායම – නෙත්ම කරුණාරත්න (නායක), මිනෙත් ප්‍රේමරත්න, ලක්ෂිත කුලරත්න, නුෂල් ධර්මරත්න, හංසජ ජයසිංහ, ඉරුත් ගිම්ෂාන්, ශක්ති උදාර, ටෙහාන් පෙරේරා නෙත්ම සමරවීර, පලිඳු කිරිඇල්ල, විලාෂ් කරුණාරත්න, අයේෂ් ශෂිමාල්, ඉසුරු අයේෂ්, යෙහාන් ගුණසිංහ, සචින් ජයසිංහ, විදුන විජේබණ්ඩාර, මලීෂ පෙරේරා, තිසුක සෙහස්.
නාලන්දා විදුහල් කණ්ඩායම – දිනේත් ෂෙහාන් සමරවීර (නායක), එරංග ජයකොඩි, විනුජ රන්පුල්, කුෂ්මිත සිල්වා, රවින් ද සිල්වා, චනුල් අතුකෝරාල, සජිත විතානගේ, රුසිරු විලෝචන, යසිරු සමරකෝන්, නිකිල් අබේගුණසේකර, රිසත් ජයරත්න, ලිසුර සිගේරා, ජනුල ඉඳුසර, මනුප මන්මිත, චමෝද් මන්තිලක, විනුක විජේසිංහ, මිනෝද් කල්දේරා, ලිතිජ කල්හාර.