තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අර්බුදය හමුවේ ලංකාවට සහය වෙන හැටි අමෙරිකානු දූත පිරිස ජනපතිට කියයි

    අර්බුදය හමුවේ ලංකාවට සහය වෙන හැටි අමෙරිකානු දූත පිරිස ජනපතිට කියයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බව මෙරටට පැමිණ සිටින ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පවසා තිබේ.

    ඖෂධ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ණයවර ලිපි නිකුත් කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය වන ලෙස ජාත්‍යන්තර බැංකු වෙතින් ඉල්ලා සිටීමට කටයුතු කරන බව කෙලී කීඩර්ලින් සහ රොබර්ට් කැප්‍රෝත් යන මහත්වරු එහිදී කියා සිටියහ.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන දූත පිරිස සහ ජනාධිපතිවරයා අතර හමුව අද (27) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ.

    දූත පිරිස මෙරට සිදු කරන සංචාරය පිළිබඳ පැසසුමට ලක් කළ ජනාධිපතිවරයා මේ වන විට රටේ පවතින ආර්ථික අසිරුතාව, සමාජයීය අපහසුතාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබඳ දැනුම්වත් කළේය.

    ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ඉතා උනන්දුවෙන් පසුවේ. මේ අසීරු කාල සීමාවේදී ශ්‍රී ලංකාව සමඟ එකට ගමන් කිරීමටත්, අවශ්‍ය සහාය දෙමින් හැකි උපරිමයෙන් උපකාර කිරීමට කටයුතු කරන ලෙසත් ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය රාජ්‍ය සහකාර ලේකම් කෙලී කීඩර්ලින් සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලාපය භාර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් යන මහත්වරු සඳහන් කළහ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමඟ අවදානමට ලක් ව සිටින පවුල් වෙත සහන ලැබෙන අතර ඉදිරි කටයුතු සඳහා ද එය ධනාත්මකව බල පැවැත්වෙනු ඇති බව දූත පිරිස විශ්වාසය පළ කළහ.
    රට තුළ සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී ජනාධිපතිවරයා දක්වන අවබෝධයත් තමන්ට ඇති අවබෝධයත් අතර ඇති සමානකම් කෙරෙහි සතුටට පත් වන බව ඔවුහු කියා සිටියහ.

    ප්‍රජාතන්ත්‍රවාදී ව, භාෂණයට කිසිදු බාධාවක් නො කොට ඕනෑ ම අයෙකුට අදහස් ප්‍රකාශ කිරීම සඳහා දී ඇති නිදහස් අවකාශය පිළිබඳව දූත පිරිස ජනාධිපතිවරයා වෙත ප්‍රසාදය පළ කළහ.

    කුඩා පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීමට කොමර්ෂල් බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක මධ්‍ය කාලීන ආධාර මුදලක් සහ මානුෂීය ආධාර ලෙස ඩොලර් මිලියන 5.75ක් හා ඩොලර් මිලියන 6ක් ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදාන සිදු කර තිබේ.

    එමෙන්ම ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් පොලියස්ටර් කෙඳි සහ නූල් සැකසීමේ ව්‍යාපෘති සඳහා සහාය දී ඇති බව ඔවුන් සිහිපත් කරනු ලැබී ය.

    එක්සත් ජනපද භාණ්ඩාගාර කාර්යාලයේ දකුණු සහ අග්නිදිග ආසියාවේ අධ්‍යක්ෂ මැතිව් මොහෙලෙන්කැම්ප්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාවේ ආර්ථික ඒකක ප්‍රධානි ජෝන් මැක්ඩැනියෙල්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග්, ඇමරිකානු තානාපති කාර්යාලයේ වැඩබලන දේශපාලන ප්‍රධානී ජෙෆ් චැනින් හා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක යන මහත්මමහත්මීහු මේ අවස්ථාවට එක් ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img