fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අඩි 30,000කදී ස්වභාව මාතාවට උපහාර

    අඩි 30,000කදී ස්වභාව මාතාවට උපහාර

    ශ්‍රීලංකන් ගුවන් සමාගම 2022 ලෝක පරිසර දිනයේ දී  ක්‍රියාත්මක වූ එහි සියලුම ගුවන් ගමන්වල ශ්‍රී ලාංකීය ස්වභාව සෞන්දර්ය සහ ජෛව විවිධත්වය විදහාපාන ශබ්ද සමඟින් ගුවන් මගීන් සතුටට පත් කළේය.   මෙම වසරේ දී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP)  සිය50 වැනි සංවත්සරය සමරන අතර ඒ අනුව යෙදී තිබූ ලෝක පරිසර දිනයේ ගෝලීය ප්‍රචාරක තේමාව #OnlyOneEarth ලෙස නම් කර තිබිණි.   මෙම විශේෂ දිනය සැමරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය සිය මගීන්ට අඩි 30,000ක ඉහළ අහසේ සිට ස්වභාව සෞන්දර්ය්‍ය විඳගැනීමට සැලැස්වූ අතර එවැනි වැඩසටහනක් සංවිධානය කළ ලොව එකම ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන්සේවය ද විය හැකිය.

    ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුම ස්ථාන කිහිපයක ශබ්ද ශ්‍රීලංකන් පටිගත කිරීම්  සිදුකර ඇත. මේවාට නකල්ස් කඳුවැටියේ කෘමීන් සහ අනෙකුත් සතුන්ගේ ශබ්ද, යුනෙස්කෝව විසින් නම් කරන ලද ලෝක උරුම ස්ථානවල ශබ්ද, මිරිස්ස මුහුදේ තල්මසුන්ගේ හඬ,  පුරාණ සීගිරි පර්වත බලකොටුව අවට විවිධ පක්ෂි විශේෂවල ශබ්ද සහ හඬවල්; සහ දකුණු වෙරළ තීරයෙන් සාගර ශබ්ද ඇතුලත් වූහ. ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ලොවට කියාපාන හා දේශීය අනන්‍යතාව ලොවට ප්‍රදර්ශනය කෙරෙන මෙම ශබ්ද සෑම ගුවන් යානයකම ශබ්ද විකාශන පද්ධතිය හරහා විකාශනය කරන ලදී. එහි දී අදාල ශබ්දය පිළිබඳ කෙටි හඬ විස්තරයක් ද මගීන්ට ඉදිරිපත් කරන ලදී.

    ස්වභාවධර්මයේ සංගීතය භාවිතා කිරීමෙන්, නව ක්‍රම මගින් පරිසරය සංරක්ෂණය කිරීමට ඇති කැපවීම සහ අප වටා ඇති ස්වභාවික පරිසරය අගය කිරීමට කාලය හා ශ්‍රමය වැය කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමට මෙමගින්  ගුවන් සමාගමට හැකි විය. විවිධ ජාතීන්ට අයත් මගීන්ට  මෙය සුවිශේෂී අත්දැකීමක් විය.

    මේ  සඳහා නිර්මාණය කරන ලද ස්වභාවධර්මය සහ වනජීවී ශබ්ද ගුවන් සේවයේ ෆේස්බුක්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය පිටු හරහා ද බෙදා හරින ලදී. ගුවන් යානයේ දී ස්වභාවධර්මයේ ශබ්ද අත්විඳීමට නොහැකි වූ මගීන්ට ගුවන් සමාගමේ සමාජ මාධ්‍ය පිටු වෙත පිවිසීමෙන් ඒවා ශ්‍රවණය කළ හැකි වේ. 

    ගුවන් සමාගමේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව කටුනායක ආඬිඅම්බල මහා විද්‍යාලයේ Nature Club සිසු සිසුවියන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් පවත්වන ලදී. එහිදී කාබන් පියසටහන්  පිළිබඳවත් හරිත අනාගතයක් සහතික කිරීම සඳහා එදිනෙදා ජීවිතයේදී ඔවුන් සිදුකළ යුතු දේ පිළිබඳවත් දැනුවත් කරන ලදී. මෙයට අමතරව පාසල් සිසුන් සහ ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව  රුක් රෝපණ වැඩසටහනකට සහභාගී වූ අතර එය බොහෝ විට ගුවන් සේවා කර්මාන්තයේ කාබන් විමෝචනය සීමා කිරීමට උපකාරී වනු ඇත. ශ්‍රී ලංකන් කෙයාර්ස් සහ ශ්‍රී ලංකා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ශිෂ්‍යයින්ට මේ සඳහා සහභාගිවීම වෙනුවෙන් වටිනා සහතිකයක් ද ලබාදෙන ලදී.

    2050 වන විට කාබන් විමෝචනය අවම කිරීමට ප්‍රතිඥා දී ඇති වන්වර්ල්ඩ් ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය කාබන් පියසටහන් අඩු කිරීම සඳහා පියවර රැසක් ගනිමින් සිටීයි. Air Transport Action Group විසින් සිදු කරන ලද සිද්ධි අධ්‍යයනයක දී ගුවන් සේවය සිය මගීන් ගෙන් කාබන් විමෝචනය අවම කිරීමට කටයුතු කරන ගුවන් සේවයක් ලෙස ද තහවුරු වී තිබේ.

    පාරිසරික තිරසාරත්වය, දේශගුණික විපර්යාස සහ සාගර සහ ජෛව විවිධත්ව සංරක්ෂණය සම්බන්ධයෙන් කලාපයේ විද්‍යාත්මක පර්යේෂණ සහ දැනුම බෙදාගැනීම සඳහා ගුවන් සමාගම දැඩි ලෙස කැපවී සිටියි.

    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. ඉතා අගය කලයුතු වැඩ සටහනකි. මගේ ශුභ පැතුම්! ඉදිරියේදීත් මෙවැනි අළුත් දේ කිරීමට මෙන්ම ආයතනය දියුනු කිරීමටද හැකියාව හා ශක්තිය ලැබේවායි පතමි.

    Leave a Reply to Mahendra WijeratneCancel reply