
සිය බිරිඳ ආහාරයට ගත් කෑම පිගානට ඹෟෂධයක් එක්කර ඇයව රෝගී කර රෝහල්ගතකරවා බිරිඳගේ මව මරා ගිනි තැබූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට මහබාගේ පොලීසිය සමත්ව ඇත.
මෙම ඝාතනය පොලීසියට වාර්තා වී ඇත්තේ ඊයේ උදෑසන කාලයේදීය.
මහබාගේ පොලිස් වසමට අයත් ගල්උඩුපිට නිවසක පදිංචිව සිටි 74 වියැති ධනවත් කාන්තාවක් එසේ ඝාතනය වී තිබේ.
119 පොලිස් හදිසි ඇමතුම් අංශයට බිරිඳගේ සැමියා විසින් ඊයේ උදෑසන කාලයේ ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව පොලීසිය එම ඝාතනය පිළිබද තොරතුරු දැනගෙන ඇත.
ඒ අනුව පොලීසිය අදාල ඝාතනය සිදුවූ නිවසට ගොස් ඇත. ඝාතනයට ලක්ව සිටි කාන්තාවගේ දියණියගේ සැමියා පොලිස් නිලධාරීන් හමුවේ සඳහන් කර ඇත්තේ අසනීපව රෝහල් ගතව සිටින බිරිඳ ළඟ සිට උදෑසන කාලයේදී නිවසට පැමිණි විට නිවසේ කාමරයක් තුළ සිය බිරිඳගේ මව ගිනි ගැනීමකට ලක්ව සිටින බවය.
දියණිය වත්තල පිහිටි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහු පොලීසියට පවසා ඇත්තේ පිළිකා තත්ත්වයකින් ඇය පෙළන බවකි.
පොලීසියට පෙනී ගොස් ඇත්තේ ගිනි ගැනීම සහ එම ඝාතනය අසාමාන්‍ය සිදුවීමක් බවය. ඒ අනුව කැලණිය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ඩයස් මහතා එම ස්ථානයට පැමිණ නිලධාරීීන්ට උපදෙස් දෙන්නේ මෙම මරණය සැකසහිත බැවින් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසටය.
එවන් සැකයක් මතුවීමට තුඩුදී ඇත්තේ ඝාතනයට ලක්වූ කාන්තාව ගිනි ගෙන ඇත්තේ රෙදිවලින් ඔතා වීමය. එසේම ගින්න පැතිර යාමක් සිදුව නැති අතර ඇගේ දියණියගේ අත් බෑගයක්ද ගින්නට දමා තිබී ඇත. එම අත්බෑගය බාගෙට පිළිස්සී තිබී ඇති අතර එහි අඩක් පිළිස්සුණු රුපියල් ලක්ෂයකට අධික මුදල් ප්‍රමාණයක් සහ රන් භාණ්ඩ රැසක්ද තිබී ඇත.
නිවසේ බඩු භාණ්ඩ රැසක් ඇද දමා තිබී ඇත අතර එය බැලූ බැල්මට පෙනී යන්නේ සොරෙක් නිවසට ඇතුළු වී ඇති අයුරු බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. සොරකමක් වෙනුවෙන් මෙම ඝාතනය සිදුවූයේ නම් මුදල් සහ රන් භාණ්ඩ සමඟ අත්බෑගයක් ගින්නට දමා පුළිස්සීමට ඉඩ නොතබන බව පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත. ඒ අනුව මෙම මරණය සැළසුම් සහගත ඝාතනයක් බව කැලණිය කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ඩයස් මහතා අනුමාන කරමින් එම සැකය මත විමර්ශන පැවැත්වීමට නිලධාරීන් මෙහෙයවා තිබේ.
මෙම ඝාතනය සිදුවූ නිවසට ආසන්නයේ ඉන්ධන පිරවුම් හලක් පිහිටා තිබේ. ඉන්ධන ලබාගැනීමට දිගු වාහන පෝලිමක්ද දින කිහිපයක් තිස්සේ තිබී ඇත. ඉන්ධන පෝලිම ඇගේ නිවස ඉදිරිපින් ගමන්කරන බැවින් 06 වෙනිදා රාත්‍රියේ සිට 07 වෙනිදා දක්වා එම ඉන්ධන පෝලිමේ මෙම ඝාතනය වූ නිවස ඉදිරිපිට නතරකර තිබුණු ලොරි රථයක රියදුරෙක් හඳුනා ගනිමින් පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කර ඇත. එහිට ඔහු පවසා ඇත්තේ කිසිදු ශබ්දයක් එම නිවස තුළින් රාත්‍රී කාලයේ හෝ අලුයම් කාලයේ පිටතට නොඇසුණු බවය.
මෙම නිවසේ සුනඛයින් දෙදෙනෙක්ද ඇතිදැඩි කරන අතර සුනඛයින්ගේ කෑ ගැසීමේ හඬක්ද නොඇසී ඇති බැවින් පොලීසියේ සැකය එල්ලවී ඇත්තේ නිවස තුළින්ම මෙම ඝාතනය සිදුව ඇති බවය.
ඒ අනුව ඝාතනයට ලක්වූ කාන්තාවගේ බිරිඳගේ සැමියා සම්බන්ධයෙන් පොලීසිය කරුණු සොයා බැලීමට තීරණයකර තිබේ.
මිය ගිය කාන්තාව පී.වී.සී. භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කර ඇති ධනවත් පුද්ගලයෙක් විවාහකරගෙන සිටි තැනැත්තියක් බවය. ඇයට යහමින් මුදල් ඇති බවද පොලීසියට පෙනී ගොස් ඇත. ඇගේ දියණිය 52 වන වියේ පසුවන්නියකි. ඇය අවිවාහක තැනැත්තියක් වූ බැවින් මෙයට වසරකට පමණ පෙර පුවත්පතක මංගල දැන්වීමක් පලකර ඇයට විවහායක්කර දීමට මව තීරණය කර තිබේ. එම දැන්වීමට අනුව පුද්ගලයින් 50 දෙනෙක් පමණ ඇයව විවහාකර ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණ ඇති අතර අවසානයේදී තෝරාගෙන ඇත්තේ මාතර පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයාවය.
නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ තැනැත්තියක් සමඟ විවහා වී සිටි තිදරු පියෙක් වන ඔහු ඒ වන විට සිට ඇත්තේ නීතියෙන් වෙන්වීය. මෙම පුද්ගලයා පෙනී සිට ඇත්තේ වතු හිමිකරුවෙක් ලෙසිණි. පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ ඔහුට අයත් වත්තක් නොමැති බවත් නිසි රැකියාවක් නොකර ඝාතනයට ලක්වූ කාන්තාවගේ දේපොල වලින් ජීවත්වන්නෙක් බවය.
ඝාතනයට ලක්වූ කාන්තාවට ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් සැකයක් ඇතිවී මුදල් ලබාදීම් සීමා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇතිවූ අමනාපයකින් ඉකුත් දෙසැම්බර් මස ඔහු නිවසින් පිටව ගොස් නැවත පැමිණ ඇත්තේ යැයි කියන්නේ ඉක්තු 01 වෙනිදාය.
ඒ පැමිණි ඔහු සිය බිරිඳ සමඟ ඉතා සමීපව සිට ඇති අතර ඇය හදිසියේම රෝගී වී රොහල්ගතකර ඇත්තේ ඉකුත් 05 වෙනිදාය.
මේ සියළු තොරතුරු රැස්කරගත් පොලීසිය අවසානයේදී සැකයට ලක්වුණු පුද්ගලයා පොලිස් භාරයට ගෙන දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීමේදී සිය බිරිඳගේ මව ඝාතනයේ සියළු තොරතුරු අනාවරණය වී තිබේ.
සිය බිරිඳව අසනීපකර ඇගේ මව තනිකිරීම සැළසුම් සහගතව සිදුවූවක් බව අනාවරණය වී ඇත්තේ එහිදීය. බිරිඳ අසනීප කිරීමට යොදාගත් ඹෟෂධ වර්ගයද හඳුනා ගැනීමට පොලීසිය සමත්ව ඇත. බිරිඳගේ මවගේ ඝාතනය සිදුව ඇත්තේ 06 වෙනිදා රාත්‍රී කාලයේදී බව ද ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවි තිබේ. බිරිඳගේ මවට පහරදී බිම දමා ගෙල පාගා ඝාතනය කර මළ සිරුර රෙදිවල ඔතා ඇඳට දමා ගිනි තැබූ බව ඔහු එහිදී පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ. අනතුරුව කිසිවක් නොදන්නා අයෙක් ලෙස රෝහලට ගොස් බිරිඳ සමඟ පසුදින උදෑසන තෙක් රැදී සිට නිවසට පැමිණ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකතන ඇමතුමක් දෙමින් රඟපෑමක් කර ඇති බව ද ඔහුගේම කටඋත්තර වලින් හෙළිවී ඇත.
නිවසේ අල්මාරි ඇද සොරකමක් සිදුවී ඇති අයුරු ව්‍යාජ ලෙස සකසා ඇත්තේද ඔහුය. සිය බිරිඳගේ අත් බෑගය ගින්නට දමා ඇත්තේ එහි මුදල් සහ රන් භාණ්ඩ ඇතැයි නොදැනය. නමුත් නිවසේ තිබුණු රුපියල් ලක්ෂ 05 ක මුදලක් සහ රන් භාණ්ඩ තොගයක්ද ඔහු විසින් සොරාගෙන ඇත. එම මුදල් හා රන් භාණ්ඩ ඔහු පරිහරණය කරන මෝටර් රථයේ සඟවා තිබියදී සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.
තමාට මුදල් ලබාදීමට බිරිඳගේ මව විරෝධය දක්වමින් තමා ගැන නිතර සෙවිල්ලෙන් සිටි බැවින් ඇයව ඝාතනය කළ බවත් සිය අරමුණ ඇගේ මරණින් පසු දේපොල සහ මුදල් පරිපාලනය කිරීමේ බලය තමා අතට ගැනීමට බවත් වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන්කර ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.