තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"පෝට් සිටි පනතට අද කෑගහන අයට එදා ජේ.ආර්. ගෙනා මහකොළඹ පනත අමතක...

    “පෝට් සිටි පනතට අද කෑගහන අයට එදා ජේ.ආර්. ගෙනා මහකොළඹ පනත අමතක වෙලා” – ඇමති ජී.එල්.

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වරාය නගර පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව සංශෝධනය කරන බවත් ව්‍යවස්ථාවට පටහැනි කිසිදු තීරණයක් නොගන්නා බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

    මේ අතර, අද කොළඹ වරාය නගර කෙටුම්පතට එරෙහිව කෑගසන පිරිසට එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ එක්සත් ජාතික පක්ෂය පිහිටවූ ‘මහකොළඹ ආර්ථික කොමිෂන් පනත’ අමතක වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

    “එදා පූර්ණ බලතල සහිතව පාර්ලිමේන්තුවේ සම්මත කළා. ඒ කොමිෂන් සභාව දේශීය ආදායම්, රේගු, විදේශ විනිමය පනත ආදී මේ කිසිවකට අදාළ නොවන පරිදි සහ ගුවන්යානා පවා මෙහෙයවීමේ බලය ද සහිත වන ආකාරයෙන් යුතුව එම පනත මඟින් බලය ලබා දී තිබුණේ. අද කෑගහන බොහෝ දෙනාට මේක අමතක වෙලා.” යැයි ද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    ‘සමඟි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂය ඇතුළු පිරිස් කිසිදු පදනමකින් තොරව අද වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ ව බොරු ප්‍රචාර පතුරුවනවා. මේ වනවිට පෙත්සම් 20ක් පමණ ඉදිරිපත් කරලා තිබෙනවා. මේ අයට අමතක වෙලා ඒ අයගේ කාලයේ කරපු දේවල් මොනවද කියලා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බලයට පත් වුණු ගමන් ම නොඑසේ නම් මාස 3ක් 4ක් වගේ කාලයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා “මහකොළඹ ආර්ථික කොමිෂන් පනත”. එතුමා දැඩිව විශ්වාස කළා ඒ පනත රටට අත්‍යාවශ්‍ය යි කියලා. ඊට අනුව, ඒ අදාළ ප්‍රදේශවලට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පනත්වලට කිසිම වලංගුතාවයක් තිබ්බේ නැහැ. මහකොළඹ ආර්ථික කොමිෂන් සභාවට පූර්ණ බලතල ලබා දීලා තිබුණේ. බියගම, කටුනායක, සීදූව ප්‍රදේශ සම්බන්ධ මේ කොමිසමට තමයි පූර්ණ බලතල ලබා දුන්නේ. බදු අය කරලා ඒ බදු ඒ අයගේ අරමුදල්වලට දමන්නට අවස්ථාව දුන්නා. මොන ජාවාරමක් කරල වුණත් කවරාකාරයෙන් මුදල් හම්බකරලා වුණත් මොන ජාතියේ සල්ලි වුණත් තමන්ගේ ගිණුම්වලට දාගන්න පුළුවන් විදියට පනත ගෙනැත් තිබුණේ. එහි රහසිගතභාවය උල්ලංඝනය කළ ඕනෑම කෙනෙක්ව හිරේ දාන්න පුළුවන්. කිසියම් ගැටලුවක් ඇතිවුණොත් ඊට විරුද්ධව තීරණයක් ගැනීමට අධිකරණයට බලයක් තිබුණේ නැහැ. ඒ 1978 ජේ.ආර්.ජයවර්ධන ජනපතිතුමා ගෙනාපු පනත.

    මේක තවදුරටත් සංවර්ධනය කරලා 1992 ආර්.ප්‍රේමදාස මහතා මේ කොමිසමට තවත් බලතල ලබා දෙනවා. ඉස්සර කිවුවේ ‘මහකොළඹ ආර්ථික කොමිෂන් සභාව’ කියලා. පසුව එය ආයෝජන කොමිෂන් සභාව වුණා. කිසිම තහනම් නියෝගයක් එම කොමිසමට විරුද්ධව කිසිම අධිකරණයකින් ලබා දෙන්නට බැහැ. ඊට එරෙහිව අධිකරණයට තිබුණු සුළු බලය පවා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ අහෝසි කළා.

    වර්තමාන කොමිසමේ සැලැස්ම අනිවාර්යයෙන් ජනපති අනුමැතිය ලබාගත යුතු යි. සංශෝධනයක දී පවා ජනපති අනුමැතිය අවශ්‍ය යි. එහි මුදල් පිළිබඳ සියලු වාර්තා ජනපතිට ඉදිරිපත් කළ යුතු යි. පොලිසියට වගේ ම යුධ හමුදාවටත් එහි ප්‍රවේශය තිබෙනවා. එහි ක්‍රියාත්මක වන්නේ ලංකාවේ නීතිය. කිසියම් අපරාධයක් හෝ නීති උල්ලංඝනයක් සිදු වුවහොත් ඒ පිළිබඳ රටේ සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වෙන්නට පොලිසියට සහ හමුදාවට පුළුවන්.

    එමෙන්ම අපි සියලු දෙනා දන්නවා රජයට ආදායමක් අවශ්‍ය බවත් ඒ ණය ලබා ගැනීම හෝ එසේත් නොමැතිනම් බදු වැඩි කිරීමයි. එවිට ජනතාවට තව තවත් බර පැටවෙනවා. ඒ නිසා එහිදී අපට ඉතිරිවන අනෙක් විකල්පය තමයි ආයෝජනය. ඒ සඳහා ආයෝජකයන් ආකර්ශනය කර ගත යුතුයි. නමුත් අපි දන්නවා 2018-2019 කාලයේ ආයෝජන තිබ්බේ නැහැ. අපේ රජය මේ කරන සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි. මෙම කෙටුම්පතට නිතිපතිවරයා විසින් ඒ බව සහතික කර තිබෙනවා” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් රුක්මලේ, පන්නිපිටිය ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරයට ගොස් ශ්‍රී මහා විහාරවංශාලංකාර විමල කීර්ති ශ්‍රී ධම්මාලොක ආචාර්ය ඉත්තෑපනේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ බැහැදැක වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව උන්වහස්සේට කරුණු පහදා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img