හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය මගින් ගොඩ නැගෙන “අපේක්ෂාවේ ගම්මානයේ“ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සිය ප්‍රමුඛතම ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘අපේක්ෂාවේ ගම්මානය’ (Hope Village) ගොඩනැගෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර කොට්ඨාශයේ කැන්දගස්මන්කඩ ගම්මානයේ ය.
මෙම කුලුඳුල් ව්‍යාපෘතියට, ප්‍රජා මධ්‍යස්ථානයක්, සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් සහ ක්‍රීඩා මණ්ඩපයක් ඇතුළත් වන අතර ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 60කට අධික බව හම්බන්තොට වරාය සමූහය සඳහන් කරයි.
ඉකුත් 27 වෙනිදා පැවති ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට කැන්දගස්මන්කඩ රජමහා විහාරයේ විහාරාධිපති ගලපිටගල ප්‍රේමරතන හිමි, චීන තානාපති චී. ජෙන්හොන් මහතා, CICTහි ප්‍රධාන විධායක නිලධාරී ජැක් හුවැන්ග් මහතා, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නියෝජිතයන්, ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපති, සී.වික්‍රමරත්න මහතා, HIPGහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා, HIPGහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා, HIPGහි ප්‍රධාන මූල්‍ය නිලධාරී රේමන්ඩ් මු මහතා, හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (HIPS) සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී රවී ජයවික්‍රම මහතා, HIPGහි ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්ව මණ්ඩලය කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ (CICT) සහ නිර්මල පදනමේ නියෝජිතයින් සහ ගම්වැසියන් එක් ව ඇත.
“චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සියවස් විස්සකටත් වඩා පැරණි එකක්. දේශීය හා ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද එය ජාතීන් දෙකේ හදවත් තුළ ගැඹුරින් මුල් බැස ඇත. චීනය සහ ශ්‍රී ලංකාව දුෂ්කර කාලවලදී එකිනෙකාට උපකාර කර ඇති අතර අනාගතයේදීත් චීනය එසේ කිරීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව, දිළිඳුකම පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට චීනය අපේක්ෂා කරනවා. අපේක්ෂාවේ ගම්මාන වැඩසටහන සාර්ථක ව්‍යාපෘතියක්. එමඟින් අන්‍යෝන්‍ය සැබැඳියාව වැඩි දියුණු වී ගම්වාසීන්ගේ ජීවන රටාවද නඟාලනු ඇත.” උත්සව අවස්ථාවේදී අදහස් දැක්වූ චීන තානාපති චී. ජෙන්හොන් මහතා පවසා සිටියේය.
තානාපතිවරයා ගමේ ප්‍රජා මධ්‍යස්ථානයේ, ‘චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව තොරතුරු තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථානය’ ලෙස නම් කිරීමට නියමිත තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයට, මූලික තාක්ෂණ උපකරණ ප්‍රධානය කළේය. ගම්මානයේ කුඩා ළමුන්ට ක්‍රීඩා භාණ්ඩද තානාපතිවරයා විසින් මෙහිදී පරිත්‍යාග කර තිබේ. ඒ අතර, HIPG සහ CICT කණ්ඩායම් විසින් ‘අපේක්ෂාවේ ගම්මාන’ සඳහා සිදු කළ අනුග්‍රහයට සමගාමීව, ප්‍රදේශයේ විහාරස්ථානවලට මුදල් පරිත්‍යාගයක් පිරිනනමා තිබේ.
ගැමි ප්‍රජාවන්ගේ සමෘද්ධිය සඳහා සංවර්ධන ආකෘතියක් වන ‘අපේක්ෂාවේ ගම්මාන’ සංකල්පය, HIPGහි සහ CICT හි ගෝලීය හවුල්කරු වන චයිනා මර්චන්ට් ගෘප්හි, ආයතනික හා සමාජ වගකීම් ඒකකය වන චයිනා මචන්ට් ෆවුන්ඩේෂන් (CMF) හා ලාභ නොලබන සංවිධානයක් වන නිර්මල පදනමේ සහයෝගිතාවයෙන් සිදු වන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සඳහන් කරයි. නිර්මල පදනමට අයත් මෙම ව්‍යාපෘතිය සදහා චයිනා මචන්ට් ෆවුන්ඩේෂන් (CMF) අනුග්‍රාහය දක්වන අතර ඒ සඳහා HIPG සහ CICT විසින් තාක්ෂණික උපදෙස් සහ සම්බන්ධීකරණ සහය සපයයි. ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ඇත.
HIPGහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා මේ සම්බන්ධයෙන් පැවසූවේ, “සුළුවෙන් හෝ මහා පරිමාණයෙන් අපගේ අසල්වැසි ප්‍රජාවට උදව් උපකාර කිරීම අපගේ යුතුකම බව මම සැමවිටම විශ්වාස කරමි. අපගේ අරමුණ වන්නේ අපේක්ෂාවේ ගම්මාන සංකල්පය තුළින් පහසුකම් සහිත යෝග්‍ය වාතාවරණයක් බිහි කොට ගම්වැසියන්ට ඔවුන්ගේ ජීවනෝපාය දියුණු කර ගැනීමේ අවස්ථාවන් උදා කරදීමයි. මෙම මුලපිරීම, ග්‍රාමීය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා වන ඉදිරි ගමනට රුකුලක් වනු ඇත. හම්බන්තොට ජාත්‍යන්තර වරාය, ආයෝජකයින් කේන්ද්‍ර කරගත් ව්‍යාපාරික විශිෂ්ටත්වය සඳහා වේදිකාවක් බවට පත් කිරීම අපගේ ඉලක්කය වනවා මෙන්ම, අපගේ ව්‍යාපාර සාර්ථකත්වයට අවට ප්‍රජාව සම්බන්ධ කරගැනීම පරස්පර අරමුණක් ලෙස අප දකින්නේ නැත. අපගේ ‘හරිත සංවර්ධන’ සංකල්පයේ පදනමක් වන අපේක්ෂාවේ ගම්මාන ව්‍යාපෘතිය දේශීය ප්‍රජාවට ධනාත්මක ප්‍රතිඑල ලබා දෙනු ඇතැයි මාගේ විශ්වාසයයි.” කියාය.
කැන්දගස්මන්කඩ ප්‍රදේශවාසීන් 2,170 කට ආසන්න පිරිසකට ප්‍රතිලාභ සැලසෙන මෙම ව්‍යාපෘතියේ අරමුණු චීන තානාපතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන්ට මෙහිදී ජොන්සන් ලියූ මහතා පැහැදිලි කළේය. සිය නියමු ආකෘතිය සඳහා කැන්දගස්මන්කඩ තෝරා ගැනීමට හේතු වූයේ එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනයක් වෙසෙන හා ලුණුගම්වෙහෙර කොට්ඨාශය තුළ කෘෂිකාර්මික අංශයට වැඩිම දායකත්වයක් සපයන ගම්මානය වීම නිසා, බව ඔහු එහිදී සඳහන් කළේය.
චීන තානාපතිවරයා ඇතුළු පිරිස ගම්මානයේ නිවසකට ගොඩවෙමින් නිවැසියන් සමග පිළිසඳරේද යෙදුනි. කැන්දගස්මන්කඩ ගම්වාසීන් විසින් තම නිෂ්පාදන තානාපතිවරයා සහ අනෙකුත් ආරාධිතයන් වෙත ප්‍රදර්ශනය කර, ඔවුන් විසින්ම පිළියෙල කළ ආහාර පාන වලින් සංග්‍රහ කර ඇත.