වැසි සහිත අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන් තැබීමට පියවර ගෙන තිබේ.
නාවික හමුදාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස්මත ගංවතුර අවදානම් සහිත සබරගමුව සහ දකුණු පළාත්වල ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 06ක් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (31) උදෑසන වන විට කටයුතු යොදා තිබුණි.
ඒ අනුව, ගංවතුර තත්ත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීමට බටහිර නාවික විධානය මගින් රත්නපුර ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් 04ක් ද, දකුණු නාවික විධානය මඟින් ගාල්ල තවලම ප්‍රදේශයට සහන කණ්ඩායම් 02ක් ද යොමු කර තිබේ.
රත්නපුර, කලවාන පොතුපිටිය මාර්ගයේ දෙල්ගොඩ පාළම අවට ප්‍රදේශයේ ඇතිව ඇති සුළු ජල ගැලීම් තත්ත්වය හමුවේ එම ප්‍රදේශය වෙත යොමු කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ගමන් කළ සහ විභාගය අවසන්කර නිවෙස් බලා පැමිණෙන පාසැල් ළමුන් ඇතුළු ජනතාව වෙත අවශ්‍ය සහන සලසමින් සිටින බව නාවික හමුදාව සඳහන් කරයි.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සදහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට බටහිර නාවික විධානයේ අමතර සහන කණ්ඩායම් 03ක් ද, දකුණු නාවික විධානයේ අමතර සහන කණ්ඩායම් 08ක් සහ වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 18ක් ද මේ වන විටත් සූදානමින් තබා ඇතැයිද නාවික හමුදාව පවසයි.