පොලිස් ස්ථානාධිපතිධූර සඳහා නිලධාරීන් තෝරාගන්නා සම්මුඛ පරීක්ෂණයට සහභාගි නොවී මේ වන විට පොලිස් ස්ථානාධිපතිධූර දරණ නිලධාරීන් පොලිස් ස්ථානාධිපතිධූර සඳහා සුදුසුකම් පරීක්ෂා කරන සම්මුඛ පරීක්ෂණයට යොමු කිරීමට පොලිස්පතිවරයා විසින් තීරණයකර තිබේ.
ඊට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේද අනුමැතිය හිමිවී තිබෙන බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.
පොලිස් ස්ථානාධිපතිධූරය හෙබවීමට සුදුසු නිලධාරීන් තෝරාගැනීම සඳහා පසුගිය කාලයේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වූවත් මේ වන විට පොලිස් ස්ථානාධිපතිධූර දරන නිලධාරීන් වැඩි දෙනෙක් එම සම්මුඛ පරීක්ෂණයට සහභාගි නොවී දේශපාලන උවමනා එපාකම් මත පත්වූ අය බවට චෝදනාවක්ද එල්ලවී තිබේ. පොලිස්පතිවරයා විසින් ඉකුත් දෙසැම්බර් මාසයේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කළ රහස් ලියැවිල්ලකින්ද ඒ බව තහවුරු වී ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් මහතා වැඩ භාරගැනීමත් සමඟ ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට පොලිස්පතිවරයාට අවශ්‍ය ආකාරයට ස්ථානාධිපතිවරු පත්කිරීම සම්බන්දයෙන් වූ අවස්ථාව ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.
මෙම නිලධාරීන්ට අමතරව ස්ථානාධිපතිධුරයක් දැරීමට කැමැතතක් දක්වන නිලධාරීන්වද සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා ගැනීමට ද තීරණය වී ඇත. එම නිලධාරීන්ගෙන් අයදුම්ප.් කැදවීමට අවශ්‍ය පියවරද මේ වන විට ගෙන ඇති අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස් නියෝගයක් පවා නිකුත් කර තිබේ.
ඊට අනුව පොලිස් ස්ථානාධිපතිධූරයක් දරන්නට කැමැත්තක් දක්වන සහ මෙතෙක් සම්මුඛ පරීක්ෂණයට පෙනී නොසිට ස්ථානාධිපතිධූර දරන නිලධාරීන්ගෙන් ලබන ජුනි 13 වෙනිදාට පෙර අයදුම්පත් ලබාගැනීමටද පියවර ගෙන ඇත. දැනට සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්වන දැනට ස්ථානාධිපතිධූර දරන නිලධාරීන්ගේ ස්ථානාධිපතිධූරද ගැලවෙනු ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.