මුල් පිටුව උණුසුම් පුවත් ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකළැයි මහේස්ත්‍රාත්ගෙන් සී.අයි.ඩී යට දොස්

ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකළැයි මහේස්ත්‍රාත්ගෙන් සී.අයි.ඩී යට දොස්

0

ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට ඉකුත් 09 වෙනිදා ඇතිවුණු ගැටුම් වලක්වා ගැනීම සඳහා ඊට පෙර දින පොලිස්පතිවරයා විසින් ලබාදුන් උපදෙස් බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ක්‍රියාකර නැතැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද ප්‍රකාශ කළාය.

ඒ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් වූ මහේසත්‍රාත් විභාගය අද පැවති අවස්ථාවේදීය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ අවධාරණය කළේ මෙම නඩුවට අදාල බහුතරයක් සාක්ෂි බස්නාහිර පළාත තුළම පවතින බැවින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනට දරණ තනතුරෙන් ස්ථාන මාරුකරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බවය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ස්ථාන මාරු කිරීමට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉදිරි දිනයේදී අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිස්පතිවරයාට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් පසෙක සිටියදී සුළු සුළු සැකකරුවන් පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම ගැන මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අප්‍රසාදය පළ කරමින් සිතට ඒකඟව මෙම විමර්ශනය කළ නොහැකි නම් ඒය කළ හැකි වෙනත් කෙනෙකුට භාර දෙන්නැයි ප්‍රකාශ කරමින් මෙම සිද්ධියට සම්බන්ධ සෑම තැනැත්තෙක් සම්බන්ධයෙන්ම සමානව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් ඊට අදාළ නියෝග ඉදිරි දිනයේදී ලබාදීමට තමා කටයුතු කරන බවද මෙහිදී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අවධාරණය කළේය.

මෙම සිදුවීම වළක්වා ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අරගල භූමියට ප්‍රහාරය එල්ලවූ 09 වෙනිදාට පෙර දිනයේ පොලිස්පති ලිඛිතව උපදෙස් දී ඇති බවද සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ අවධාරණය කළාය.

” ස්වාමීනී, ප්‍රශ්නගත සිදුවීමට පෙර මැයි 08 වෙනිදා පොලිස්පතිවරයාට බුද්ධි තොරතුරක් ලැබිල තියෙනවා 09 වෙනිදා ජනවරමට පිටු නොපානු යනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැත්වීමට නියමිත රැස්වීමක් සහ පෙළපාලියක් ගැන. පොලිස්පතිවරයා ඒහි පිටපතක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත යොමු කරමින් ලිඛිතව උපදෙස් ලබාදී තිබෙනවා ඒම පෙළපාලිය ගාලු මුවදොර දෙසට ගමන් කිරීමේදී ගැටුම් ඇතිවෙන්න පුළුවන්. ප්‍රදේශයේ සාමය ආරක්ෂාකරන්න සුදුසු පියවර ගන්න කියල.”

මෙම පහරදීමට අදාලව විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් පිරිසක් සිය විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාරදී නැති බවද විශේෂ කරුණු දැක්වීමක් කරමින් ඇය අවධාරණය කළාය.

ඇය අධිකරණය හමුවේ පෙන්වා දෙනු ලැබුවේ මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදී ඇති බවය.

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාරිලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ විදෙස් ගමන් බලපත්‍රය වෙනත් අධිකරණයක විභාගවන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් එම අධිකරණ භාරයේ ඇති බවද පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පාර්ලලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රේණුක පෙරේරා යන අයගේ විදෙස් ගමන් බලපත්‍ර විනාශ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇතැයි සඳහන් කළාය.

අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමට අදාළ සංයුක්ත තැටියක් අධිකරණයට ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන අධිකරණයේ විශේෂ අවධානයට එය යොමුකරමින් “ස්වාමීනි, අරලියගහ මන්දිරයේ පැවති ප්‍රශ්නගත රැස්වීමේ සුවිශේෂී හඬක් හඳුනාගත යුතුව තිබෙනවා. එහිදී නිවේදකයෙකු පවසනවා මාතෘ භූමියට හදවතින්ම ආදරය කළ පස්වන විධායකක ජනාධිපතිවරයා ආරක්ෂාකර ගැනීමට කටයුතු කළ යුතුයි. දැන් ඔබ මෙතනින් එළියට ගමන් කරල පල්ලිය ළගින් දකුණට හැරිලා ප්‍රධාන ප්‍රධාන ගාලු පාර දිගේ ගෝල්ෆේස් ක්‍රීඩාංගනයට යන්න. අපේ ශක්තිය අපි පෙන්වමු. අපේ නායකයා ආරක්ෂාකර ගනිමු. කියල.” යැයි සඳහන් කළාය.

එදින නිවේදන කටයුතු කළ වසන්ත කුමාර සහ ලලිත් මධුමාල් යන අයගේ කටහඬ ආදේශක ලබාගැනීමට රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත්කර කටහඬ පරීක්ෂාවක් කිරීමට මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණ නියෝගයක් ඉල්ලා සිටියාය. ඊට මහේස්ත්‍රාත්වරයා අවසරය ලබාදුන්නේය.

මෙහිදී අගතියටපත්වූ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කරුණු දක්වමින් අධිකරණය හමුවේ සඳහන් කරනු ලැබුවේ “ස්වාමීනි, පොලිස් ආඥා පනතේ පැහැදිලිවම සඳහන් වෙනවා 12 දෙනෙකුට වඩා සිටින අයුතු ජනරාශියක් විසුරුවා හරින්න උප පොලිස් පරීක්ෂකයෙකුට බලතල තියෙනවා කියල. ඒහෙම තියෙද්දීත් ඒම ස්ථානයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙය විසුරුවා හැරීමට කටයුතු කර නැත්තේ.”

“ස්වාමිනි, ගින්දරයි පුළුනුයි පුළුනුයි එකට යන්නේ නැහැ. අප දැනගත යුතුයි දේශබන්දු තෙන්නකෝන් ගිනියි පුළුනුයි ඒකතු කළේ කාගේ ආශිර්වාදය මතද කියල. මොකද ස්වාමීනි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයන්නේ නැති පැතිකඩක් තියෙනවා. පොලිස්පතිවරයා 08 වෙනිදා උපදෙස් දුන්නට පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමන් යටතේ සිටි උසස් නිලධාරීන්ට සූම් රැස්වීමත් පවත්වා තිබෙනවා. ඒකෙදි පැහැදිලිවම උපදෙස් දීල තියෙනවා ඔය පෙළපාලිය විසුරුවන්න ඒපා. ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්න එපා කියල. එබැවින් ස්වාමීනි, සාධාරණ සැකයෙන් ඔබ්බට කරුණු තියෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට නොගන්නේ.”

මෙහිදී මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කවර මතයක් දරන්නේද යන්නය.

“ස්වාමීනී මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා. සිද්ධිය වූ අවස්ථාවේදී කොල්ලුපිටිය ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලීස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 150 ක් පමණ රැඳී සිටියා. ඒම අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සැකකාර සනත් නිශාන්ත නැමැත්තාට මින් ඉදිරියට ගමන් නොකරන ලෙස විධානයක් නිකුත්කර තිබෙනවා. ඒම විධානය කඩකරමින් සැකකරුවන් ඉදිරියට ගමන් කර ඇති බව විමර්ශනවලින් පෙනී යනවා.” යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් මහේස්ත්‍රාත්වරයා වෙත ඡායාරූපයක් ඉදිරිපත් කළේය. සනත් නිශාන්ත සහ දේශබන්දු තෙන්නකෝන් අරගල භූමියේ යම් සාකච්ඡාවක නිරත වන අයුරු එහි දක්නට විය.

“මෙහි විධානයක් ලබාදෙන ආකාරයක් පෙනී යන්නේද? මේ ඡායාරූපයෙන් පෙන්නේ සැකකාර සනත් නිශාන්තට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙසක් දෙන අවස්ථාවක්ද මට නම් මේක පේන්නේ බොහොස කුළුපග සාකච්ඡාවක් කියලයි” යැයි අගතියටපත් පාර්ශවයේ නීතීඥවරු විමසා සිටියේය.

පෙරලා මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒම පැනයම විමසා සිටියේය.

අදාල පෙළපාලිය වැළැක්වීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැහැදිලි විධානනයක් දී ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇති බැවින් හා තත්ත්වය පාලනය කිරීමට කටයුතු තර ඇති බැවින් ඔහු සාක්ෂිකරුවෙක්ද සැකකාරයෙකුද යන්න අප වෙත ප්‍රශ්නගත වී ඇතැයි එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය සඳහන් කරනු ලැබුවේ ” ස්වාමීනි, නීතිපතිවරයාට සැකකරුවන් අත්අඩංගුවට ගන්න බලයක් නැහැ. යම් සැකකරුවෙකු සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තිබෙනව නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.” යැයි කියාය.

මෙම අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයින් 454 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 16 දෙනෙක් හඳුනාගෙන තිබුණද ඔවුන්ගේ අනන්‍යතාව තහවුරුකර ගැනීමට නොහැකි වී තිබෙන බවත් ඇය සඳහන් කළාය.

එම පුද්ගලයින් 16 දෙනාගේ ඡායාරූප රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත්කර මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය ඔස්සේ අනන්‍යතාව තහවුරුකර ගැනීම සඳහා මෙහිදී අවසරය ලබාදුන්නේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version