මුල් පිටුව උණුසුම් පුවත් ජාතික පුෂ්පයේ ‘නිල්’ හැලුණු බව සමහරු තාම දන්නේ නෑ

ජාතික පුෂ්පයේ ‘නිල්’ හැලුණු බව සමහරු තාම දන්නේ නෑ

0

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘නිල් මානෙල් මල’ නොව ‘මානෙල් මල’ බවට තවමත් ජනතාව නිසි පරිදි නොදන්නා බැවින් ජනතාව දැනුවත් කිරීම් සිදු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පරිසර අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

මේ පිළිබඳව පරිසර අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී ජාතික පුෂ්පය පිළිබඳ පාසැල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දැනුවත් කළද එය ප්‍රමාණවත් පරිදි සිදුවී නොමැති බවද කාරක සභාව විසින් නිරීක්ෂණය කොට ඇත.

එබැවින් ජාතික අධ්‍යාපන ආයතනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනෙකුත් අදාළ ආයතන මෙන්ම පුවත්පත් දැන්වීම් හරහාද මේ පිළිබඳ ජනතාව නිසි දැනුවත් වීමක් විය යුතු බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දන්වා ඇත.

2015 ජුනි මස අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බවට පත්විය.

පරිසර අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා අනෙකුත් රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රචාරණයක් ලබාදීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘නිල් මානෙල්’ ලෙස තවමත් බොහෝ අවස්ථාවල භාවිතා වන බවද කාරක සභාව නිරීක්ෂණය කොට තිබේ.

මේ කරුණු අන්තර්ගත වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝපා කමිටුවේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ පළමු වාර්තාවේ ය.

2021.08.04 සිට 2021.11.19 දක්වා කාලය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කැඳවන ලද රාජ්‍ය ආයතන 7ක සහ එක් විශේෂ විගණන වාර්තාවක විමර්ශනයන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවට අන්තර්ගත වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version