මුල් පිටුව උණුසුම් පුවත් සාරා මැරුණාද? ජීවතුන් අතරද? තුන්වැනි DNA පරීක්ෂාවට සියල්ල සූදානම්

සාරා මැරුණාද? ජීවතුන් අතරද? තුන්වැනි DNA පරීක්ෂාවට සියල්ල සූදානම්

0

පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවැනි ප්‍රහාරයක් සඳහා සූදානමින් කල්මුණේ සයින්දමරුදු හී පිහිටි නිවසක සැඟවී සිටියදී ආරක්ෂක අංශ කළ වැටලීමකදී බෝම්බ පුපුරවාගෙන මිය ගිය අන්තවාදී ත්‍රස්තවාදීන් 16 දෙනාගේ සිරුරු හෙට නැවත ගොඩගෙන තුන්වැනි ඩී.එන්.ඒ පරීක්ෂණයත් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ.

ඒ මේ වන විට ආන්දෝලනයට තුඩුදී සිටින පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නැමැති බෝම්බකාරිය ජීවතුන් අතර සිටීද නැති නම් ඒ මිය ගිය අය අතර සිටීද යන්න පිළිබදව තවදුරටත් තහවුරුකර ගැනීමටය.

සයින්දමුරුදු පිපුරුම සිදුවන්නේ පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුවය. එම පිපුරුම සිදුවන විට එම නිවසේ සාරා ජෙස්මින් ඇතුළු 19 දෙනෙක් සිටි බව තහවුරු වී තිබුණි. ඒ අය අතර සහරාන්ගේ බිරිඳ කාදියා සහ දරුවන්ද, සහරාන්ගේ මව් පියන් සහ සහෝදරයින්ද එම සහෝදරයින්ගේ බිරින්දෑවරු සහ දරුවන්ද සිටියේය. පිපුරුමෙන් පසු පොලීසිය හා හමුදාව කළ සෝදිසියේදී ජීවතුන් අතර සිටියදී එම නිවසේ ජීවතුන් අතර සිටියදී සොයා ගන්නේ සහරාන්ගේ බිරිඳ කාදියා සහ ඇගේ කුඩා දියණිය පමණි. ඔවුන් දෙදෙනා අදටත් ජීවතුන් අතර සිටී.

එහෙත් එහි සොයා ගැනීමට හැතියාව ලැබෙන්නේ මළ සිරුරු 16 ක් පමණි. ඒ වැඩිහිටි මළ සිරුරු 10 ක් සහ කුඩා දරුවන්ගේ සිරුරු 06 කි. ඒ අතර සාරා ජෙස්මින්ගේ සිරුර නොවීය. ඒ බව වඩාත් තහවුරු වන්නේ ඩී.එන්.ඒ. පරීක්ෂාවේදීය. සහරාගේ මවගේ සහ එම ස්ථානයේ මියගොස් සිටි කිසිවෙකුගේත් ඩී.න්.ඒ ගැලපීමක් සිදු නොවීය. පළමු ඩී.එන්.ඒ පරීක්ෂාවෙන් පසු දෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂාව කරනුයේ සැකහැර එය තවදුරටත් තහවුරුකර ගැනීමටය. ඒ මළ සිරුරු වලදමා මාස එකහාමාරකට පමණ පසුව නැවත ගොඩගෙනය. මුල් ඩී.එන්.ඒ පරීක්ෂාව සිදුවන්නේ මිය ගොස් සිටි අයගේ සිරුරුවලින් ලබාගත් ජෛව සාම්පල් වලින් වූවත් දෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂාවට යොදා ගන්නේ මළ සිරුරුවල ඇට කැබලිවලින් ලබාගත් සාම්පල්ය. දෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂාවෙන්ද තහවුරුවන්නේ මියගොස් ඇති අය අතර සාරා ජෙස්මින් නොමැති බවය.

සාරාගේ අතුරුදන්වීම සැඟවීමට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටි පොලිස් කණ්ඩායම් පියවර ගෙන තිබුණද ඒ සම්බන්ධයෙන් මුලින්ම රටට හෙළිකරනුයේ newswave.lk ය. පසුව පාස්කු කොමිසමේදීද සාරා ජෙස්මින්ගේ අතුරුදන්වීම ගැන සාක්ෂි දීර්ඝ ලෙස මෙහෙයැවූ අතර සහරාන්ගේ බිරිඳ කාදියාගේද සාක්ෂියෙන් පැහැදිලි වන්නේ සාරා එම බොම්බ පිපුරුම සිදුවන විට සයින්දමරුදු නිවසේ රැදී සිටි බවය. බෝම්බ පිපුරුමෙන් පසුවද ඇය ජීවතුන් අතර සිටි බව තමා දුටුවේ යැයි ඇය කොමිසම හමුවේ පවසා තිබුණාය.

අනතුරුව හමුදා බුද්ධි අංශ මෙන්ම පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ද ලබාදුන් ඇතැම් සාක්ෂි වලින් සාරා ජෙස්මින් ජීවතුන් අතර සිටින බවට සැකකළ හැකි තොරතුරු අනාවරණය වන්නට විය. අවසානයේදී කොමිසමේ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද මහතාට ලද තොරතුරකට අනුව සාරා ජෙස්මින්ට පළායාමට උදව් කළ බව කියන පිරිසක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් පවත්වා සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තේය. ඒ අතර අම්පාර පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාද සිටියේය.

මෙසේ සාරා ජෙස්මින් ජීවතුන් අතර සිටින බවට වූ විද්‍යාත්මක සාක්ෂි මෙන්ම ඇසින් දුටු සහ බුද්ධිමය තොරතුරු තිබියදී පසුගිය කාලයේදීත් ඇතැම් පිරිස් ඇය ජීවතුන් අතර සිටින බව පිළි ගැනීමට කැමැත්තක් දැක්වූයේ නැත. මෙවන් ඔවුන්ගේ තර්කය වූයේ ඩී.එන්.ඒ පරීක්ෂණය නිවැරදිව සිදුකර නොමැති බවය. අධිකරණ වෛද්‍ය නිලධාරීන් පිරිසක් විසින් කළ එම පරීක්ෂණය නිවැරදිව සිදුකර නැතියැ කියමින් සාරා මියගොස් ඇතැයි කී අයගේ තර්ජකය වූයේ තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකළ යුතු බවය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ගේ අදහස වූයේ තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂාවක් අවශ්‍ය නොවන බවය.

කෙසේ වෙතත් මේ සම්න්ධයෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ඇතිවන්නේ රජය කෙරෙහි සැකයකි. ඒ සැකය හේතුකොටගෙනම රජය කෙරහි කතෝලික ජනතාවගේ අප්‍රසාදය පවා එල්ලවන්නට ගත්තේය. තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂාවකට සූදානම් වන්නේ මෙවන් වාතාවරණයක් පවතින වටාපිටාවකදීය.

මෙම මළ සිරුරු 16 වළදමා ඇත්තේ අම්පාර බුද්ධංගල පාරේ පිහිටි සුසාන භූමියකය. හෙට දිනයේ මෙම මළ සිරුරු නැවත ගොඩගැනෙන්නේ කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුවය. එදා එම මළ සිරුරු වල දමන අවස්ථාවේදී සිටි විමර්ශන නිලධාරීන්ද අධිකරණ වෛද්‍යවරුන්ද එම අවස්ථාවට සහභාගිවීමට නියමිතව ඇත.

පෙර පුවත මෙතැනින්
පාස්කු දෙවැනි ප්‍රහාරයකට සූදානම් වූ බෝම්බකාරිය පණපිටින්

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version