ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දිගින් දිගටම පහත යෑම වැළැක්වීමට නම් ශ්‍රී ලංකා මහ බැංකුව ඉතා කඩිනමින් පියවර තුනක් ක්‍රියාත්මක කළ යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා පැවසීය.
මහ බැංකුව පොලී අනුපාතය වැඩිකිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්නා බවට නිල ප්‍රකාශයක් කිරීම සහ මහ බැංකුව වාණිජ බැංකු සතු ඩොලර් ලබාගැනීම අතහැරීම යන පියවරයන් තුන ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව ද විජේවර්ධන මහතා කීය.
මහ බැංකු පොලී අනුපාත 7.5% ක මට්ටමක පවතින අතර වාණිජ බැංකු තැන්පතුවලට ගෙවන පොලී අනුපාතය 6% මට්ටමකට අඩු වීම නිසා විදේශ රටවල සිටින ශ්‍රමිකයින් මෙරට බැංකුවල තැන්පත් කිරීම නතර කර ඇතැයිද ඔහු කීය.
එම නිසා මහ බැංකු පොලී අනුපාතය 15% ක පමණ ඉහළ දමා තැන්පතු පොලී අනුපාතය දෙගුණයකින්වත් ඉහළ දැමිය යුතු බවද ඔහු කීය.
ආණ්ඩුව හෝ මහ බැංකුව හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහොත් රුපියල අවප්‍රමාණය වීම සීමා වනු ඇතැයි විදේශ ශ්‍රමිකයින් කල්පනා කරන හෙයින් ඔවුන් ලංකාවට ඩොලර් එවීමට උනන්දු වනු ඇතැයි ද ඔහු කීය.
වාණිජ බැංකු සතු ඇමරිකානු ඩොලර් ප්‍රමාණයෙන් 50%ක් අනිවාර්යෙන්ම මහ බැංකුවට විකිණිය යුතු බවට මහ බැංකුව දැනටමත් දමා ඇති නියෝගය වහාම ඉවත් කළ යුතු බවද ඔහු කීය.
එවැනි නියෝගයක් හේතුවෙන් වාණිජ බැංකු සතු ඩොලර් සංචිතය අඩු වන අතර එය නරක තත්ත්වයක් බව ද විජයවර්ධන මහතා කීය.