තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවට යන්න සූදානම්ව තිබූ අබලි යකඩ කන්ටේනරයකින් කොකේන් මතුවේ

    ඉන්දියාවට යන්න සූදානම්ව තිබූ අබලි යකඩ කන්ටේනරයකින් කොකේන් මතුවේ

    පැනමාවේ සිට ගමන් ආරම්භකර රටවල් කිහිපයකම වරායන්වෙත යාත්‍රාකර කොළඹ වරායට පැමිණ ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමට ගොඩබාන ලද අබිලි යකඩ අඩංගු කන්ටේනරයක ඉතා සූක්ෂමව සඟවා තිබුණු කොකේන් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව ඇත.

    අදාල නෞකාවෙන් අබිල යකඩ කන්ටේනර් 04ක් ප්‍රති අපනයනය සඳහා කොළඹ වරායේ ගොඩබා තිබේ. එම නෞකාවෙන් ගොඩබා ඇත්තේද මෙම කන්ටේනර් 04 පමණක් බවද සඳහන්ය. මෙම අබිලි යකඩ කන්ටේනර් හතර සම්බන්ධයෙන් සටහන් වී ඇත්තේ ඉන්දියාවේ එකම ස්ථානයක ලිපිනයකි.

    මෙම කන්ටේනර් 04 සම්බන්ධයෙන් සහ නෞකාවේ ගමන් මාර්ගය පිළිබදව ඇතිවුණු සැකයක් මෙන්ම ඒ සම්බන්ධයෙන් ලද ජාත්‍යන්තර තොරතුරුවලට අනුව කළ පරීක්ෂාවකදී අද ඒ එක් කන්ටේනරයක සඟවා තිබුණු කොකේන් තොගය හමුවී ඇත.

    මෙහි ඇති කොකේන් ප්‍රමාණය කිලෝ 300 ඉක්මවනු ඇති බවට සැකයක් පවතින අතර මෙතෙක් එම කොකේන් පිටතට ගෙන පරීක්ෂා කර කිරා මැන බැලීමක් කර නැත. ඇතැම් විට මෙම ප්‍රමාණයද ගණනය කිරීමේදී ඉක්මවා යාමට හැකි බව අනුමාන කෙරේ.

    ශ්‍රී ලංකා රේගුව මේ වන විට එම කොකේන් කන්ටේනරය සම්බන්ධයෙන් ලියකියවිලි පරීක්ෂා කිරීමක් කරගෙන යන අතර පොලිස් මත්ද්‍රව්‍ය කර්යාංශයේද සහය විමර්ශන සඳහා ඉල්ලා ඇත.

    මේ ආකාරයටම 2016 වසරේදී ඉන්දියාවට කොළඹ වරාය හරහා ප්‍රතිනැව්ගත කිරීමට සූදානම් වූ තේක්ක කොට පිරවූ කන්ටේනරයක සඟවා තිබී කොකේන් කිලෝ 926ක් සොයාගත්තේය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ එවකට සිටි අධ්‍යක්ෂකවරයාවූ නැගෙනහිර පළාත්භාර වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතාට ලද තොරතුරකට අනුව එම කොකේන් තොගය සොයා ගෙන තිබුණි. මෙතෙක් මෙරටින් අල්ලා ඇති විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන්නේ එයයි.

    එම කොකේන් තොගය රැගත් නෞකාව පේරු රාජ්‍යයේ සිට ගමන් ආරම්භකර රටවල් රැසක වරායන්වෙත යාත්‍රාකර මෙරටට පැමිණ තිබුණි. එම කොකේන් තොගය කොළොම්බියාව හරහා ලැබී තිබුණු බව ජාත්‍යන්තර සහය ඇතිව කළ විමර්ශනයකදී හෙළීවී තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img