තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුක්‍රේනය වෙනුවෙන් රටවල් 14ක් ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම

    යුක්‍රේනය වෙනුවෙන් රටවල් 14ක් ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම

    යුක්රේනය, ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සඳහා සක්‍රීය ලෙස සහයෝගය දැක්වීමට එක්වන්නැයි බටහිර රටවල් 14ක තානාපතිවරුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

    ශ්‍රී ලංකාවේ සිටින ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්, කැනඩාවේ මහ කොමසාරිස්, යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම් ප්‍රධානී, ප්‍රංශ තානාපති, ජර්මනියේ තානාපති, ඉතාලියේ තානාපති, නෙදර්ලන්ත තානාපති, නවසීලන්ත මහ කොමසාරිස්, නෝර්වේ තානාපති, ජපාන තානාපති, රුමේනියාවේ තානාපති, ස්විට්සර්ලන්ත තානාපති, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්, ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති යන තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ඒකාබද්ධ නිවේදනයක් ලෙස මෙම ඉල්ලීම සිදුකර ඇත.

    රුසියානු ආණ්ඩුව යුක්රේනයට එරෙහිව ආක්‍රමණශීලී සාවද්‍ය තොරතුරු ව්‍යාපාරයක් ගෙන ගොස් ඇත්තේ එහි ආක්‍රමණය යුක්තිසහගත කිරීමේ ව්‍යාජ උත්සාහයකින් බව සිය ඒකාබද්ධ නිවේදනය මඟින් ඔවුන් පෙන්වා දෙයි.

    රුසියාව නේටෝව ප්‍රකෝපකරන බවට බොරු චෝදනා කරන අතර නේටෝව සැමවිටම ආරක්ෂක සන්ධානයක් වන බවත් රුසියාවට තර්ජනයක් නැති බවත් සිය නිවේදනය මගින් ඔවුන් පෙන්වා දි තිබේ.

    “ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස, අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ යුක්‍රේනය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර නීතිය සඳහා හඬ නඟා සහාය දීමට අප හා එක්වන ලෙසයි. රුසියාවට සිය එදිරිවාදිකම් වහා අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට අප හා එක්වන ලෙස අපි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමු.

    යුක්රේනයේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම සඳහා අපි ලොව පුරා සිටින අපගේ මිතුරන් සමඟ එක්ව කටයුතු කරන්නෙමු. අපි යුක්රේනය සමඟ සිටිමු; එමෙන්ම නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලොව පුරා ජාතීන්ගේ ස්වෛරීභාවය වෙනුවෙන් අපි එක්වෙමු.” යනුවෙන් ද ශ්‍රී ලංකාවෙන් කරන ලද ඉල්ලීමෙහි සඳහන් කර තිබිණ.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයි වාර්තා වේ .

    පසුගිය කාල වකවානුව තුලදී බටහිර රටවල් රැසකින් ශ්‍රී ලංකාවට පීඩනයන් එල්ලවූ අවස්ථාවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රුසියාව අවස්ථා ගණනාවකදී පෙනී සිටියේය.

    වෙළෙද, වාණිජ හා ආරක්ෂක කටයුතු වලදී රුසියාව සිය සමීප හිතවතෙකු ලෙස ශ්‍රී ලංකාවට සහය දක්වා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img