ශ්‍රී ලංකාව වැටී සිටින බරපතළ ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම වෙනුවෙන් ගත හැකි සියලුම විකල්පයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක, ගෙරී රයිස් ඒ බව පැවසුවේ මාධ්‍යවේදිනියක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“ශ්‍රී ලංකාව ගැන කතාකළොත්, ඔවුන් විශාල ආර්ථික අභියෝග රැසකට මුහුණදෙමින් ඉන්නවා. මෑතකදී අප කළ උපදේශනයේදී අපි කරුණු කිහිපයක් ඉස්මතු කළා. එහිදී සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ණය තිරසාරත්වය වැනි අංශ සඳහා පිළිගතහැකි සහ සුසංයෝගී ක්‍රමවේදයක් අවශ්‍ය බවට. ඒ වගේම සමාජයේ අවදානම් කොටස් ආරක්ෂාකර ගැනීම සඳහා ඉලක්කගත සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් අවශ්‍ය බවත් පෙන්වා දුන්නා. ඒවා ශ්‍රී ලංකාව සමග පැවති වාර්ෂික උපදේශනයන් හිදී ඉස්මතු කළ කරුණුද වනවා. එය සෑම රටක් සමගම කරන දෙයක්. වැඩි විස්තරයක් ඔබට පැවසීමට මේ අවස්ථාවේ මට හැකියාවක් නෑ. නමුත් මට ඔබට කියන්න පුළුවන්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින සියලුම විකල්ප පිළිබඳ අප ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව”
පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණ තිබුණි.
එහිදී ඔවුන් වර්ථමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සහ රජයේ ඉහළ නිලධාරීන් සමග ද සාකච්ඡා පවත්වා තිබුණි.
එහි සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සමග ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබු අතර පසුගිය 16 වැනිදා ජනාධිපතිවරයා ජාතිය අමතා කළ ප්‍රකාශයේදී සඳහන් කළේ රටට ලැබෙන වාසි අවාසි තත්ත්වයන් අධ්‍යයනය කොට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමට තමා තීරණය කළ බවය.