විදේශගත ශ්‍රමිකයන් අලුත් අවුරුදු සමයේ මෙරටට එවනු ලබන විනිමය ආදායම වෙනුවෙන් ඇමරිකානු ඩොලරයකට රුපියල් 38 බැගින් විගමන ප්‍රේෂණ ප්‍රවර්ධනය කිරීමට දිරිගැන්වීමක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ මෙතෙක් ගෙවන ලද රුපියල් 10 දීමනාව ඉහළ නන්වමිනි.
එ් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.
- ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මුලාශ්‍රයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රය මඟින් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 7-8කට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කරනු ලබයි.
එලෙස විගමනික ශ්‍රමිකයින් විසින් එතෙරදී උපයනු ලබන විදේශ විනිමය එළඹෙන අවුරුදු සමයේදී මෙරටට ප්‍රේෂණය දිරිමත් කිරීම, විගමනික ශ්‍රමිකයින් ඇගයීම සහ ඔවුන්ගේ යැපෙන්නන්ට හා පවුල්වල සාමාජිකයින්ට වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබා දීම පිණිස විගමනික ශ්‍රමිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් දැනට ගෙවනු ලබන රුපියල් 10/-ක දිරි දීමනාව රුපියල් 38/-ක් දක්වා වැඩි කිරීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.