රට අර්බුදයෙන් ගොඩඒමට විසඳුම් ප්‍රකාශනයක් ඉදිරිපත් කළ තමා සහ විමල් වීරවංශ ඇමති ධුරවලින් ඉවත් කිරීම හරියට හඳේ ආවාට පෙන්නූ විට ඇඟිල්ල කපා දැමුවා වගේ වැඩක් බවත් දැන් ආණ්ඩුව සදාකාලික අමාවක උදාවීමේ අනතුරක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසයි.
ඇමති ධුරවලින් ඊයේ ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලද විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිළ මහතා ඒ පිළිබද අදහස් දැක්වීම වෙනුවෙන් අද මාධ්‍ය හමුවක් පැවැත්වීය.
ඊට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් සමගින් ඔවුන් දෙදෙනා සහභාගි විය.
එහිදී තම අමාත්‍ය ධුරය ඉවත් කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිළ මහතා මෙම අදහස් පළකළේය.
“ආර්ථිකය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති අයෙකු විසින් රටේ ආර්ථිකය මෙහෙයවීම නිසා අපේ රට දිනෙන් දිනම අගාධයට ඇද වැටෙන බව අපි දිගින් දිගටම ඇමති මණ්ඩලය තුළ කතා කළා. ඇමති මණ්ඩලය තුළ කතා කරලා පලක් නැති තැන ඇමති මණ්ඩලයෙන් පිටත් කරුණු දක්වන්න පටන් ගත්තා. ඒ වගේම අපි ඇමති මණ්ඩලය තුළ දිගින් දිගටම සටන් කළේ මේ අර්බුදයට විසඳුමක් පේන තෙක් මානෙකවත් නැති උනාම ජනතාව වික්ෂිප්ත වෙනවා වහාම විසඳුමක් හදන්න කියන එක. ආණ්ඩුව ඇතුළේ ඒ විසඳුම සකස් කිරීම සිද්ධ නොවුණු නිසා අපි ‘ මුළු රටම හරි මඟට’ යනුවෙන් විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ විසඳුම විස දුමක් වගේ දැකලා ඒ විසඳුම ක්‍රියාත්මක කරනවා වෙනුවට විමල් වීරවංශ ඇමතිතුමාවත් මාවත් අමාත්‍ය ධුරවලින් ඉවත් කරන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. ඒක හරියට හඳේ ආවාට පෙන්නන්න ඇඟිල්ල දිගු කරාම හඳේ ආවට දෙස බලනවා වෙනුවට, දිගු කළ ඇඟිල්ල කපා දැමුවා වගේ වැඩක්. ඒ නිසා දැන් සදාකාලික අමාවක උදාවීමේ අනතුරක් ආණ්ඩුව විසින්ම හදාගෙන තියෙනවා.
පහුගිය වසර එකහමාරක් තුළ අපි විවේචන ඉදිරිපත් කළත් ඇමතිවරු විදියට විවේචන කරන්න අපිට යම් බාධාවන් බැඳීම් තිබුණා. අපි කතා කළේ හරියට දිව ගැටගහලා ගොත ගසනවා වගේ. දැන් අපිට මේ රට මේ අගාධයට ගෙන ගියේ කවුද කියලා අපට නිදහසේ කියන්න පුළුවන් වගේම, නුදුරු දිනයකදී අපි වරින් වර මේ රටට මේ අපරාධය කළ ආකාරය පිළිබඳ ඒකට වගකිව යුත්තේ ආන්ඩුවේ කවුරුන්ද කියන එක පිළිබඳ අපි ඉදිරියේ දී රට හමුවේ ලිඛිත සාක්ෂි සහිතව තබන්න සූදානම්.
එහෙම ඒ වගේම අපිට හිතෙනවා අර 1958 දී දේශපාලන නවකතාවක් ඇමරිකාවේ ප්‍රකාශයට පත් පත්වුණා The Ugly American කියලා. ඒක අවලස්සන ඇමරිකානුවා කියලා මං හිතන්නේ සිංහලටත් පරිවර්තනය වෙලා තියෙනවා. ඉතිං මේ අවලස්සන ඇමරිකානුවා පොත යළි ශ්‍රී ලංකාවේ ලියවෙමින් පවතිනවා. ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ නිසා අද අපේ රට නැවතත් ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලය ආරම්භ කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා. මේ රටට මෙහෙම කරන්නේ 1997දී ඉන්දුනීසියාව තිබුණු තැනට මේ රට අරන් යන්න කියලා අපට සැකයක් තියෙනවා.” යැයි ද උදය ගම්මන්පිළ මහතා කීය.