තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිමෙන්ති රට තුළ හදන්න ගිය මාසෙට අමුද්‍රව්‍ය නැව් 6ක් ඇවිත්

    සිමෙන්ති රට තුළ හදන්න ගිය මාසෙට අමුද්‍රව්‍ය නැව් 6ක් ඇවිත්

    ලංවා හා ඉන්සී සිමෙන්ති සමාගම් සිය සිමෙන්ති නිෂ්පාදන කටයුතු සඳහා අමුද්‍රව්‍ය භාණ්ඩ නෞකා 06 ක් ජනවාරි මාසයේදී පමණක් හම්බන්තොට වරායෙන් ගොඩබා ඇත.

    මෙම සමාගම් ඔවුන්ගේ සැපයුම් දාම කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අටියෙන්, 2021 අග භාගයේදී හම්බන්තොට වරාය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුම් අත්සන් කළ බව හම්බන්තොට වරාය සමූහය සදහන් කරයි. ඒ අනුව, නිෂ්පාදකයින් දෙදෙනා සඳහා සිමෙන්ති අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 265,163.34 ක පූර්ණ පරිමාවක් මෙම වසර ජනවාරි මස අග වන විට වරාය විසින් හසුරුවා ඇතැයි හම්බන්තොට වරාය සමූහය සඳහන් කරයි.

    ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව, ප්‍රථමයෙන් ලංවා සංස්ථා සිමෙන්ති සමාගම සඳහා ක්ලින්කර්, ජිප්සම් සහ ස්ලැග් යන අමුද්‍රව්‍ය රැගෙන පැමිණියේ, ටැං බිං 245 (Tang Binh 245), යුනිටි (Unity) සහ ඩුබායි ක්‍රවුන් (Dubai Crown) යන නෞකාවන්ය.

    එළැඹි ගිවිසුමට අනුව, ලංවා සංස්ථා සිමෙන්ති සමාගම සඳහා භාණ්ඩ ගොඩබෑමේ දොඹකර දෙකක් ලබා දී ඇති අතර වාහක පටියක්ද වරාය පරිශ්‍රය තුළ ඉදි වෙමින් පවතින බව හම්බන්තොට වරාය සමූහය සඳහන් කරයි. එමගින් මිරිජ්ජවිල ආයෝජන කලාපයේ පිහිටි ඔවුන්ගේ නිෂ්පාදන කම්හලට, අමුද්‍රව්‍ය තොග සෘජුවම සපයනු ඇත.

    “ප්‍රධාන සිමෙන්ති නිෂ්පාදකයින් දෙදෙනෙකු වන ඉන්සී සහ ලංවා සමාගම් දැන් හම්බන්තොට වරාය සමූහය සමඟ කටයුතු කරනවා. බහුකාර්ය වරායක් ලෙස සංවර්ධනය වෙමින් අදාළ සේවා සපයන අතරම, යාබද ප්‍රදේශයන්හි ව්‍යාපාරයන්ට අතහිත දෙමින් ඒවායේ වර්ධනය තකා කටයුතු කිරීම අපගේ අරමුණයි. ලංවා කර්මාන්තශාලාව ආරම්භ වීමත් සමඟ හම්බන්තොට වරායේ තොග පරිමාව ඉහල නැංවීමට හැකි වනවා මෙන්ම, වරාය මෙහෙයුම් සහ සැපයුම් වැඩපිළිවෙළ හරහා ලංවා සංස්ථා සිමෙන්ති සමාගමටද සැලකිය යුතු වාසියක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු,” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා සඳහන් කරයි.

    “ශ්‍රී ලංකාවේ පළමු වරට නවීනතම යුරෝපීය තාක්‍ෂණය සහිතව ඉදි කරන තම කර්මාන්තශාලාවේ මෙහෙයුම් ළඟදීම ආරම්භ කරන බව ලංවා සංස්ථා සිමෙන්ති කෝපරේෂන් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය මහතා පවසයි.

    “මේ වසරේ පළමු කාර්තුව තුළ අපගේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමත් සමඟම වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදන කටයුතු ඉහල නැංවීම අපගේ බලාපොරොත්තුවයි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමඟ ඇති කරගත් සහයෝගීතාව පිළිබඳව ඉතා සතුටු වන අතර, වසර මුලදී අපගේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙන ආ නෞකා ඉතා පහසුවෙන් හසුරුවා ගැනීමට හැකි වුනා. වරාය කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂමතාවය සහ විශිෂ්ට සේවය අප බොහෝ සේ අගයනවා.” යැයිද තුසිත් ගුණවර්ධන මහතා සදහන් කළේය.

    වරාය විසින් ඉන්සී සිමෙන්ති සමාගම සඳහාද ක්ලින්කර් සහ ස්ලැග් අමුද්‍රව්‍ය භාණ්ඩ තොග 03 ක් ජනවාරි මාසයේදී හසුරුවන ලදි. 2018 වසරේ සිට හම්බන්තොට වරාය සමූහය සමඟ කටයුතු කරන ඉන්සී සමාගම, වරාය හරහා වියළි තොග භාණ්ඩ හැසිර වූ පළමු පාරිභෝගිකයා බව හම්බන්තොට වරාය සමූහය සඳහන් කරයි. පසුගිය වසරේ ඔවුන් සඳහා මෙට්‍රික් ටොන් මිලියන 1 කට වැඩි පරිමාවක් හැසිරවීමට වරායට හැකිවී ඇත.

    ප්‍රමුඛ පෙළේ සිමෙන්ති නිෂ්පාදකයින් දෙදෙනා සමඟ ඇති කරගත් හවුල්කාරීත්ව තුළින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය තම සැපයුම් දාම සහ ඵලදායිතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරයි. මෙම සබඳතාව තුළින් ඉදිකිරීම් කර්මාන්තයේ සිමෙන්ති සඳහා ඇති ඉහළ ඉල්ලුම සපුරාලීමට නිෂ්පාදකයින්ට හැකි වනු ඇතැයි හම්බන්තොට වරාය සමූහයේ අපේක්ෂාවයි. තම ක්‍රියාපිළිවෙත් සහ කාර්යක්ෂමතාව නිරතුරුව වැඩි දියුණු කරමින් ක්‍රියාකාරී බහුකාර්ය වරායක් බවට පත්වීමේ ඉලක්කයට ඉහළම ප්‍රමිති සේවා සපයමින් හම්බන්තොට වරාය සීග්‍රයෙන් ලඟා වෙමින් සිටින බව හම්බන්තොට වරාය සමූහය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img