මිනිස් ඝාතන, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්,මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටි පරිප්පුවා නැමැති සංවිධානාත්මක අපරාධකරු අඹන්පොල සැඟව සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ නිලධාරීන්ට කොටුවී ඇත.
අඹන්පොල කෝන්කඩවල සැඟවී සිටියදී ඊයේ රාත්‍රියේ දී මෙම අපරාධකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වාගේ මෙහෙයැවීමෙන් ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි.
කාලයක් තිස්සේ පරිප්පුවා ගැන ඇස ගසාගෙන සිටි විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් ඔහු සැඟවී සිටි නිවස වටලන විට පළායාමටද දැඩි උත්සහයක් ගෙන තිබේ. දැඩි පරීශ්‍රමයකින් පසු ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී අත්බෝම්බයක්ද හමුවී ඇත.
කොටහේන මැලිබන් හංදියේදී ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට 2019 වසරේ ජනවාරි 20 වෙනිදා වෙඩි තබා ඝාතනය කිරීම, වැල්ලම්පිටිය කැලණිගමදී ත්‍රී රෝද රථ රියදුරෙකුට 2016 දෙසැම්බර් 31 වෙනිදා පිහියෙන් ඇන ඝාතනය කිරීම, වැල්ලම්පිටිය සේදවත්තේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කසුන් නැමැත්තාට 2019 මැයි 26 වෙනිදා පිහියකින් ඇන ඝාතනය කිරීමට තැත් කිරීම, වැල්ලම්පිටිය සේදවත්තේදී 2019 මැයි 29 වෙනිදා ඉෂාර ලක්මාල් නැමැත්තාට පිහියකින් ඇන ඝාතනය කිරීමට තැත් කිරීම, 2019 මැයි 17 වෙනිදා කසුන් චාමර නැමැති තරුණයෙක්ට පිහියකින් ඇන ඝාතනය කිරීමට තැත්කර එම පුද්ගලයාගේ සහෝදරයාට ගිනි අවියකින් හිසට පහරදී තුවාල කිරීම, වැල්ලම්පිටිය වේරගොඩදී 2019 මැයි 22 රංජිත් කුමාර නැමැත්තාට ටී 56 අවියක් එල්ලකර තර්ජනය කිරීම ඇතුළු අපරාධ රැසකට මෙම සැකකරු සම්බන්ධ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
මෙම අපරාධකරු යතුරු පැදි කොල්ලකෑම්වලද නිරතව සිට ඇති බවටද විශේෂ කාර්ය බලකායට තොරතුරු ලැබී ඇත.
මෙම අපරාධකරුට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු පවා නිකුත්කර තිබී ඇත. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව අඹන්පොල පොලිස් ස්ථානයට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.