රටේ බලය සන්නද්ධ අරගලයකින් අල්ලන්නට ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ කැරළි දෙකක් ගැසුවේය. ඒ කැරළි දෙකම අසාර්ථක වන්නේ මෙරට අනාගතය භාර ගන්නට එකල සිටි තරුණ ජීවිත දහස් ගණනක් අහිමි වෙමිනි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහන විජේවීරගේ නායකත්වයෙන් දියත්වූ අසාර්ථක කුළුදුල් කැරැල්ලට අදට (05) අඩසිය වසක. ජනතා විමුක්ති පෙරමුණේ රාජ්‍යක් ගොඩ නගන්නට එදා ඔවුන් ඒ කැරැල්ල සැළසුම් කරන්නේ දිවයින පුරා එකල පිහිටි පොලිස් ස්ථාන 92 කට එකවර ප්‍රහාරයක් එල්ලකර පොලිසියේ බලය අල්ලන්නටත් රටේ රාජ්‍ය නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියව ඇය එකල පදිංචිව සිටි රොස්මිට් පෙදෙසේ පිහිටි බංගලාවෙන් පැහැරගෙන සිය ග්‍රහනයට ගෙන රාජ්‍ය බලය අල්ලන්නටත්ය.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ වැඩි බලයක් යොදා තිබුණේ සිරිමාවෝ මැතිණිය පැහැර ගන්නටය. එම කණ්ඩායමේ පසුකාලයේ ජවිපෙ නායකත්වය දැරූ සෝමවංස අමරසිංහ මහතාද සිටියේය. මැතිණියව පැහැරගෙන රැගෙන යන වාහනයේ රියදුරා වූයේ ඔහුය.
මෙම කැරැල්ල සංවිධානය වන්නේ සිරිමාවෝ මැතිණියගේ සමගි පෙරමුණ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි විශේෂ අවධානයකින් සිටින විටදී වීමද විශේෂිතය.
71 අප්‍රේල් 05 වෙනිදා දියත් වූ ජවිපෙ කැරැල්ල අසාර්ථක වන්නේ එදින රාත්‍රියේ එකවර පොලිස් ස්ථානවලට පහරදීමට ජවිපෙ නායකත්ව මණ්ඩලය ගත් තීරණය නිසි ලෙස මොණරාගල කණ්ඩායමට නොලැබීම හේතුවෙන් එදින අළුයම වැල්ලවාය පොලිස් ස්ථානයට පහරදීමය. ජවිපෙ ප්‍රහාරයට ලක්වුණු පළමු පොලිස් ස්ථානය ලෙස සැලකෙන්නේ එයයි.
එකල අද මෙන් සංනිවේදන ක්‍රියාවලිය දියුණු යුගයක නොතිබුණු බැවින් පණිවිඩ හුවමාරුව සිදුවූයේ තැපෑලෙනි. එසේම කැරලිකරුවන් පණීවිඩ සිය සාමාජිකයන්ට ලබාදීමට පුවත්පත් දැන්වීම් පවා යොදා ගත්තේය. 71 කැරැල්ලට පුවත්පත් දැන්වීඹක් පවා යොදා ගත් අතර මොණරාගල කණ්ඩායමට නිසි ලෙස අවබෝධකර ගන්නට නොහැකිවන්නේ යැයි සැළකෙන්නේ එම පුවත්පත් දැන්වීමේ අන්තර්ගතයයි.
වැල්ලවාය පොලිස් ස්ථානයට එල්ලකල එම ප්‍රහාරය සාර්ථකව පොලිස් නිලධාරීන් ව්‍යාර්ථ කිරීමත් සමග රටපුරාම පොලිස් ස්ථාන සීරුවෙන් තැබීම හේතුවෙන් ජවිපෙට පොලීසිවල බලය ඇල්ලීම හිතූ තරම් ලෙහිසි පහසු නොවීය. එහෙත් දකුණේ ඇතැම් පොලිස් ස්ථානවල බලය අත්පත්කරගත් ජවිපෙ සටන් කරුවන් දින කිහිපයක් ගම්මාන සිය පාලනයට නතුකර ගත්තේය.

71 කැරැල්ලේ අසාර්ථකම මෙහෙයුම බවට පත්වන්නේ රාජ්‍ය නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාර නායක මැතිණියව අල්ලා ගැනීමය. එම සැළසුම අසාර්ථක වන්නේ රොස්මිඩ් බංගලාවට පහරදෙන්නට සූදානමින් සිටි කණ්ඩායමේ සිටි තරුණ සටන්කරුවෙක් නිසාය. එම සටන්කරුවා එකල ශ්‍රි ලංකා විද්‍යාලය ලෙසින් හදුන්වනු ලැබූ ඕඩේ පංසලේ පිහිටි පිරිවෙනේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවරදි සිසුවෙකි. මේ සිදුවාට කැරැල්ලට නායකත්වය දුන් පිරිස ගැන ඇතිවුණු යම් ගැටළුසහගත තත්වයක් හේතුවෙන් මැතිණියව අල්ලා ගැනීමේ සැළසුම ගැන කැරැල්ලට පෙර දින රාත්‍රිෙය් ගොස් පවසන්නේ එකල විපක්ෂ නායකයාව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතාටය. ඒ කොළඹ 07, වෝඩ් පෙදෙසේ පිහිටි නිවසට ගොසිනි. ඒ මොහොතේම ජෙ.ආර්. ජයවර්ධන මහතා ඒ බව මැතිණීයට දුරකතනයෙන් දැනුම් දී එම තරුණයාව භාර දෙන්නේ කැරළිකරුවන් අතට රට පත්වන්නට ඉඩ නොතබමිණි.
එදා ඒ තරුණයා නොසිටින්නට සිරිමාවෝ මැතිණිය ප්‍රාණඇපයට ගෙන ජවිපෙ ආණ්ඩුවක් පිහිටුවන්නට තිබුණු ඉඩකඩ බොහෝය. එම තරුණයාව 71 කැරැල්ල පාවා දුන් මහා නරුමයා ලෙස ජවිපෙ හදුන්වන්නේ එබැවිණි. පසුකාලීනව උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වන එම තරුණයා ජවිපෙ දෙවැනි කැරැල්ල මැඩලීමටද 88-89 වකවානුවේදී පොලිස් අධිකාරීවරයෙක් ලෙස දැවැන්ත කාර්ය භාරයක් ඉටු කළේය. එකල ඔහුව හදුවනු ලැබුවේ ගඩාෆි යැයි කියාය.

තිස් වසරක් පැවැති යුද්ධය නිමවීමෙන් පසු රටතුළ සාමය ස්ථාපිත කිරීමේ කටයුත්තේදී ඊට බාධාවක් වූ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වෙමින් පැවැති මුස්ලිම් සන්නද්ධ කල්ලි නිරායුධ කිරීමේ කටයුත්ත පවා පැවරුණේ ගඩාෆිටය. 2009 වසරේදී මුස්ලිම් සංවිධාන නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකදීම ප්‍රසිද්ධියේ ආරක්ෂක අංශවෙත ගිනි අවි භාරදුන්නේ ඒ අනුවය. 2010 වසරේ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස පොලිස් සේවයෙන් විශාම ගෙන මේ වන විට ගොවියෙක් ලෙස කරලියට පැමිණ සිටින ඔහු නමින් එඩිෂන් ගුණතිලකය. අඩසිය වසරකට පෙර තමා ඒ කැරැල්ල මැඩලීමට ලබාදුන් දායකත්වය ගැන ඔහුට අදටත් ඇත්තේ ආඩම්බරයකි. ඒ ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් පත්වූ රජයක් අවි බලයෙන් පහකරන්නට ඉඩ නොදීමට ලබාදුන් දායකත්වය ගැනය.