තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩු සළිඳුගේ ගෝලයෙක් එස්.ටී.එෆ්. වෙඩි පහරින් මරුට

    කුඩු සළිඳුගේ ගෝලයෙක් එස්.ටී.එෆ්. වෙඩි පහරින් මරුට

    ඩුබායි හී රැදී සිටිමින් මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවමින් සිටින පානදුරේ කුඩු සළිඳුගේ ගෝලයෙක් වන තෙල්ලගේ දිලාන් සමීර පීරිස් නොහොත් අබ්බා නැමැති අපරාධකරු පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ගැටී ඊයේ රාත්‍රියේ මරුමුවට පත්ව ඇත.

    මෙසේ මරුමුවටපත්ව ඇති අබ්බාට එරෙහිව මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක් ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. කුඩු සළිඳුගේ අනියම් බිරිද බව කියන කාන්තාවක් ඔහු ඩුබායි වෙත ගෙන්වා ගැනීමට උත්සහ දරා ඇති බවත් ඇය ඊට අකමැත්ත පළකිරීම හේතුවෙන් කිසියම් පුද්ගලයෙක් විසින් ඇයට තියුණු ආයුධයකින් පරහරදී දෑත් කපා තිබුණු බවත් පොලීසිය කියයි. සළිඳුගේ කොන්ත්‍රාත්තුවකට අනුව එම පහරදීම කර ඇත්තේද අබ්බා සහ තවත් අයෙක් බවට තොරතුරු පොලීසියට ලැබී ඇත. එම කාන්තාව කපා කොටා තුවාල කළ පුද්ගලයාව යතුරු පැදියෙන් රැගෙන ගොස් ඇත්තේ මෙම අපරාධකරු විසින් බව පොලීසිය කියයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනුයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මොරටුව එගොඩඋයන පොලිස් වසමේ ඉසුරුසිරි මාවතේ ඊයේ රාත්‍රියේ සිදුකළ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමක් අතර තුරදී මෙම සිදුවීම වූ බවය. සැකකටයුතු පිරිසක් රැදී සිටි ස්ථානයක් පරීක්ෂා කිරීමට යාමේදී එහි සිටි එක් අයෙක් විශේෂ කාර්ය බලකායට පිස්තෝලයකින් වෙඩි තබා ඇති බවය. ඊට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමේදී වෙඩි ප්‍රහාරය එල්ලකළ පුද්ගලයාට වෙඩිවැදී ඇති අතර ඔහුව පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එම මාධ්‍ය නිවේදනයේ සදහන්වන ආකාරයට අනුව අබ්බා විසින් තබන ලද වෙඩි දෙකක්ද විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුගේ ශරීර ආරක්ෂක ආවරණයට වැදී තිබේ. එම නිලධාරිවයාද මේ වන විට පානදුර රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත්කර ඇතැයි එහි සඳහන්ය.

    විසිහත් වියැති අබ්බා නැමැති එම පුද්ගලයා මොරටුව මෝදර පදිංචිකරුවෙකි.

    පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම වෙඩි හුවමාරුවෙන් පසු අබ්බා සමග රැදී සිටි පුද්ගලයින් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර සිටි එක් සැකකරුවෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී අත්බෝම්බයක්ද හමුවී තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනු ලැබුවේ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා එගොඩඋයන පොලිස් ස්ථානයට භාරදුන් බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img