ඩුබායි හී රැදී සිටිමින් මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවන බඩෝවිට අසංක නැමැත්තාගේ මත්තුඩු තොග වශයෙන් ප්‍රවාහනය කිරීමට සම්බන්ධ කාන්තාවක් කළුබෝවිල රෝහල ආසන්නයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 01 යි ග්‍රෑම් 64 ක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් සමත්ව ඇත.
බඩෝවිට පූසි ලෙස හදුන්වන මෙම කාන්තාව සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශය දීර්ඝ කාලයක් තිස්සේ කළ ආවේක්ෂණයකින් පසු මෙම වැටලීම කර ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.
හතලිස් වියැති මෙම කාන්තාව කළුබෝවිල පදිංචිකාරියක් වන අතර ඇගේ සැමියා හමුදාවෙන් පළාවිත් සිටින තැනැත්තෙක් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. ආමි ඉන්දික නැමැති ඔහු 154 කිරිබත්ගොඩ අගුලාන මාර්ගයේ බස් රථයක රියදුරෙක් ලෙස කටයුතු කරන්නෙකි. එම බස් රථයෙන් මෙම පුද්ගලයා මත්කුඩු ප්‍රවාහනය කර ඇති බවටද සැකකරන තොරතුරු රැසක් විශේෂ කාර්ය බලකායට ලැබී ඇත. බිරිද අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම සැකකරු මේ වන විට සැඟවී සිටින බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
මෙම පුද්ගලයාට එරෙහිව ගම්පහ පිහිටි දේපොල වෙළද ආයතනයක මුදල් කොල්ලකෑමේ චෝදනාවක් පවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවා විභාගවෙමින් ඇති බවත් පොලීස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී තිබේ.