බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බයක් තිබී හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා සිටින තම පියා බේරා ගැනීමට මැදිහත් වන්නැයි ඔහුගේ පුත්, සමාජ හා මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.
සිය නිල සමාජ ජාල ගිණුම් ඔස්සේ ඕෂල හේරත් මහතා ඉල්ලා සිටින්නේ දින 20ක් තිස්සේ නීතිඥයන් නොමැතිව රඳවා තබාගෙන සිටින තම පියාගේ ජීවිතය බේරා ගැනීමට පරම බලයක් ඇති එකම පුද්ගලයා ජනාධිපතිවරයා පමණක් බවය.
එමෙන්ම සිය පියා ජීවතුන් අතර සිටිමින් පොලිස් අත්අඩංගුවෙන් එළියට එතැයි විශ්වාසයක් නොමැති බවත් ඔහුගේ ජීවිතය බේරාදෙන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඕෂල හේරත් මහතා ඉල්ලීමක් කරයි.
තමාගෙන් පසුගිය දිනවල යම් සිත් රිදීමක් වූයේ නම් සමාවන ලෙසත් මෙම ඉල්ලීමේ කිසිදු දේශපාලනයක් නොමැති බවත් පියාගේ ජීවිතය බේරාගැනීම පමණක් අවශ්‍ය බවත් ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම ඕෂල හේරත් මහතා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ 2015-19 කාලය තුළ මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අය ද පොලීසියේ ම්ලේච්ඡත්වයට පත්වූ බවට තමා දන්නා බවත් එබැවින් මෙම සිද්ධියට මැදිහත් වී තම පියාගේ මූලික අයිතිවාසිකම් තහවුරු කරන මෙන් ඉල්ලා සිටින බවය.
පොලිසිය විනිවිදභාවයෙන් හා අපක්ෂපාතී පරීක්ෂණයක් කරන බවට සහතික වන ලෙසත් කරුණාකර ඔහුට නිසි නිතිපතා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඕෂල හේරත් මහතා ඉල්ලා සිටී.
ඔහු විශ්‍රාමික වෛද්‍ය නිලධාරියෙක් වන අතර 75 වියැති දුර්වල සහ විවිධ රෝගවලින් පෙළෙන අයෙක් බව ද හෙරත් මහතා කියාසිටී.
ඔහු නොකළ අපරාධයක් පාපොච්චාරණය කිරීමට ඔහුට බලකෙරෙන බව තමන් විශ්වාස කරන බවත් අනෙක් අයද මෙම අපරාධය පාපොච්චාරණය කර ඇති බව පොලිසිය මීට පෙර පවසා ඇති බවත් ඕෂල හේරත් මහතා සිය සටහනේ දක්වා ඇත.
මෙම වෛද්‍යවරයා විසින් පෞද්ගලික කරුණු කිහිපයක් හේතුවෙන් බොරැල්ල දේවස්ථානයේ බෝම්බය ද මීට පෙර ලංකා හොස්පිට්ල්හි තැබූ බෝම්බය ද වෙනත් අයකුට තැබීමට බාරදුන් බවට පිළිගත්තේ යැයි පොලීසිය පවසා තිබුණි.
මේ අතර ඕෂල හේරත් මහතා මේ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නිත්‍ය නියෝජිත සින්ගර් හැනාට ද ලිපියක් යොමු කරමින් සහය ඉල්ලා ඇත.
බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනෙක්ව නිදහස් කරන ලෙස පසුගියදා (02) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් විසින් නියෝග කර තිබුණි. ඒ අතුරින් අයෙක්, එම දේවස්ථානයේ සේවකයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවකු විසින් අධිකරණයට රහස් ප්‍රකාශයක් ලබාදී තිබු බව ද පසුගිය දිනවල වාර්තා විය.
එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරේ.
බොරැල්ල, සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ තිබී ජනවාරි 11 වනදා අත් බෝම්බයක් සොයාගැනුණි.