රංගන ශිල්පියකු, මාධ්‍යවේදියෙකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ බුද්ධදාස විතානච්චි මහතා ශ්‍රී ලංකාවට සමුදී ඕස්ට්‍රේලියාවේ පදිංචියට නික්ම යන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කලා ලෝකයේ ඔහුගේ සහෘදයන් මෙන්ම මාධ්‍යවේදීන් රැසක් අද දිනයේ සිය සමාජ ජාලා ගිණුම්වල අදහස් පළ කර තිබේ.
බුද්ධදාස විතානච්චි මහතා මෙරට වේදිකාව, ටෙලි නාට්‍ය මෙන්ම සිනමාව වර්ණවත් කළ අති දක්ෂ රංග ශිල්පියෙකි. මාධ්‍යවේදියෙකු ලෙස රූපවාහිනී පූරක කටයුතුවලට ද දායක වූ බුද්ධදාස විතානච්චි මහතා මෙරට ප්‍රේක්‍ෂක ජනතාවට නොමැකන රංග සිතුවම් මැවූවෙකි.
ඒ මහතා ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාම සම්බන්ධයෙන් කලා හා මාධ්‍ය ලොවේ ප්‍රවීනයන් දෙපළක් කපිල එම් ගමගේ සහ නිහාල් පීරිස් මහත්වරු තබා තිබූ සටහන් කිහිපයක් මෙසේය.

ප්‍රවීන කිවියර කපිල එම් ගමගේ මහතා
බුද්ධි අයියා ලංකා භූමියෙන් සදහටම නික්ම යාමේ ශෝකී ආරංචිය නෙත ගැටුනේ බුද්ධික ජයරත්න සහෝදරයා ගේ සටහනකින්. ඒක්ෂණයෙන් ඇතිවුණේ විශාල රික්තකයක් වැනි හැඟීමක්. මොහොතකට කලින් ඔහු සමග කල විනාඩි 15 ක පමණ සංවාදයෙන් පසුව වුව ඒ රික්තකය නොපිරි නිසා එය අකුරු වලට පෙරලන්න හිතුවා.
බුද්ධි අයියා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සයෙක්. ටෙලි හා චිත්‍රපට නිරූපණ ශිල්පියෙක් ලෙස අපේ මනසේ නොමැකෙන අයුරින් තැන්පත්වූ ඔහු අපට කලින් පරම්පරාවේ රූපවාහිනී පූරකයෙක්. පසු පරම්පරාවට අයිති අප කරන කියන දේ දෙස දුරසිට බලාසිටින බුද්ධි අයියා හමුවූ විටෙක අපේ කටයුතු අගයන්නටත් අඩුපාඩු සෞම්‍ය ලෙස පෙන්වා දෙන්නටත් ඉදිරිපත් වන්නේ යහපත් චේතනාවෙන්.
සවිංඥානික සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වූ ඔහු තමන්ගේ කලාභාවිතාව තුල එය හැකිපමණ නිරූපනය කලා යන්න අපගේ හැඟීම. නිදහසට පෙර ජන්ම ලාභය ලත් ඔහු මේ රට දශක හතක් පුරා විනාශයට ඇදගෙන ගිය අයුරු ඇසින් දුටු සාක්ෂිකරුවෙක්. ඒ විනාශගාමිත්වයෙන් රට ගොඩ එනවා දකින්න හීන දැක්ක කෙනෙක් පමණක් නොව ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව සිපිරි ගෙවල් හරහා සිය ජීවන යාත්‍රාව පැදවූවෙක්.
බුද්ධි අයියා හෙට ලංකා භූමියෙන් මුල් උදුරාගෙන ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වන්නේ ස්ථිර පදිංචිකරුවෙකු ලෙස. ඔහුගේ පුතා, අපේ මිතුරා සිද්ධාර්ථ ඔහුව පිලිගන්න එහි බලාගෙන ඉන්නවා.
සුබ ගමන් කියා වචනාර්ථයෙන් පැතුවත් බුද්ධි අයියේ, අප සිරකොට ඇති සමාජ දේශපාලන අවකාශයේ ඔබෙන් හිස්වන තැන අපේ හදවතේ මේ මොහොතේ ඇතිවන රික්තකයට සමානයි. ඒක අපේ ඉදිරි කෙටි දිවිය තුල නොපිරේවි. එසේ වුවද මේ ගෝත්‍රික සිරකුටියෙන් ජීවිතයේ අවසානභාගයේ හෝ මිදෙන්න ලැබීම ඔබේ වාසනාවක්. නමුත් ප්‍රියයන්ගෙන් වෙන්වීම හා එහි වේදනාව කියන්නේ මේකට තමයි.
දරු මුණුපුරන් සමග ඉදිරිය සතුටින් ගෙවන්න. ඔබ අපේ සංස්කෘතික ජීවිතයට තිළිණ කල සියලු කලා නිර්මාණයන්ට ස්තූතියි

ප්‍රවීන මාධ්‍යවේදී නිහාල් පීරිස් මහතා
බුද්ධදාස විතානාරච්චි, අප හිතවත් බුද්ධි අයියා ලංකාවෙන් සමුගෙන පදිංචිය සඳහා ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්වෙන බව අද ආරංචි වුණා. එ්ක ඔහුගෙ පැත්තෙන් සුදුසු තීරණයක් කියා හිතෙනවා. නමුත් ඉතාම ලෙන්ගතු, නිහතමානි, මහාත්මා ගති ඇති කෙනෙකු වන ඔහු මේ ආකාරයෙන් දුරස් වීම ලොකු කණගාටුවක් ඇති කළා. මමත් ඔහුට බෙහෙවින් ගරු කරන්නේ බුද්ධි අයියා එක්තරා ආකාරයක පරමාදර්ශී චරිතයක්ය යන හැඟීමක් සිත තුළ ඇති නිසයි. ඔහු අපේ කලා ලෝකයේ වඳ වෙමින් යන කොට්ඨාශයකට අයත් කෙනෙක්. එහෙම කියන්නේ ඔහු වැනි ප‍්‍රතිපත්ති ගරුක, අත්දැකීම් බහුල, සමාජය ගැන පුළුල් අවබෝධයකින් සහ ප‍්‍රගතිශීලී දැක්මකින් යුතු, මානව හිතවාදී ගූණයෙන් පිරුණු, නිහතමානි, දයාබර හදවතක් හිමි කලාකරුවන් මේ කාලයේ ඉතා දුළභ නිසයි. කලාව තුළ වගේම මාධ්‍යවේදියකු ලෙසත්, දේශපාලන කි‍්‍රයාකාරිකයකු ලෙසත් ඔහු කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළා.
මා දන්නා විදියට විදෙස්ගත ඔහුගේ දරුවන් කාලයක සිටම ඔහුට තමුන් වෙත පැමිණෙන ලෙස පවසමිනුයි සිටියේ. නමුත් අවසන් මොහොත වෙනතෙක්ම මේ රට හැරදා යන්න ඔහු තුළ දැඩි අකමැත්තක් තිබුණා. තමා අයිති මේ රටට යි, මේ රට වෙනුවෙන් යමක් කළ යුතුයි කියන හැඟීම නිතරම ඔහු තුළ තිබුණා.
කෙසේ වෙතත් මේ වෙලාවේ ඔහු ගත් තීරණය හොඳයි කියලයි හිතවතෙකු විදියට මට හිතෙන්නෙ. දරුවන් සහ බිරිඳ සමග ආදරයේ උණුසුම විඳිමින්, සතුටින් සැහැල්ලූවෙන් ඉදිරි කාලය ගත කරන්න ලැබේවා කියා ඉත සිතින් ප‍්‍රාර්ථනා කරනවා.
ඔබ කලාව හා කලාකරුවාගේ දේශපාලන භූමිකාව කුමක්දැයි යන්න පෙන්වා දුන්නා සේම ඔබේ නිර්මාණ තුළින් ඔබව හදුනාගැනමට ඉඩහැර තිබුණා තවදුරටත් කලාකරුවාගේ දේශපාලන භූමිකාව තුළ ලංකාවේදී දැකගතනොහැකිවීම පිළිබඳව රසිකයෙකු ලෙස යම් කණගාටුවක් දැනේ