එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම් තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ව්‍යාජ ලිපි ලේඛන යොදා ගනිමින් මුදල් රැස් කළ බවට ලාංකික කාන්තාවක ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකුට එරෙහිව ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය නඩු පවරා තිබේ.
ලෙච්චුමාන් මේරි ෆ්‍රැන්සිස්කෝ නමැති කාන්තාව සමඟ මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කෙනිස්ටන් ප්‍රනාන්දු, කේ බාස්කරන්, ජොන්සන් සැමුවෙල් සහ එල් සෙල්ලමුත්තු යන අයයි.
ශ්‍රී ලංකාවේ උපන් ලෙච්චුමාන් මේරි ෆ්‍රැන්සිස්කෝ නමැති 51 හැවිරිදි වසර ගණනාවකට පෙර කැනඩාවට ගොස් එහි ස්ථිර පදිංචිකාරියක් වී ඇත. මෙම කාන්තාව 2019 දෙසැම්බර් මාසයේදී ඉන්දියාවට ඇතුළු වී ඇත්තේ වසරක වලංගු සංචාරක වීසා බලපත්‍රයක් මතය.
COVID-19 ලොක්ඩවුන් හේතු උපුටා දක්වමින් ඇය නැවත ඉන්දියාවේ රැඳී සිටියාය. ඉන්පසු ඇය අන්නා නගර්හි ශක්ති ජනපදයේ නිවසක් කුලියට ගෙන ඇත. ඇය කුලී නිවස ලබාගැනීම සඳහා ඇගේ ජාතිකත්වය සඟවා ව්‍යාජ ලියකියවිලි සාදාගෙන ඇති අතර ඒ ඔස්සේ ඇගේ නමට LPG සම්බන්ධතාවයක් ලබා ගැනීමට භාවිතා කළාය. LPG සම්බන්ධතාවය භාවිතා කරමින් ඇය ඉන්දියානු විදේශ ගමන් බලපත්‍රයක් සහ ඡන්ද හැඳුනුම්පතක් ද ලබාගෙන ඇත.
ඇය බැංගලෝර් වෙත පියාසර කිරීමට උත්සාහ කිරීමේදී ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත. ඇය එල්.ටී.ටී.ඊ සංවිධානයේ එවකට ක්‍රියාකාරීව සිටි සාමාජිකයන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට ඇයට එරෙහි විමර්ශනයේදී අනාවරණය වීමත් සමඟ මෙම විමර්ශනය ඉන්දීය ජාතික විමර්ශශන ඒජන්සිය (NIA) වෙත මාරු කරන ලදී.
විශාල කුමන්ත්‍රණයක් සිදුකිරීම සහ ජාත්‍යන්තර ප්‍රතිවිපාක ද සැලකිල්ලට ගනිමින් නඩුව NIA වෙත භාර දී ඇතැයි ඉන්දීය වාර්තා පවසයි.
ඇය මුම්බායි වෙත ගුවන් යානයකට යාමට සූදානම්ව සිටියදී චෙන්නායි ගුවන් තොටුපළේදී මෙලෙස ඇයව අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය සතුව තිබී ව්‍යාජ ලියකියවිලි යොදා ලබාගත් ඉන්දීය විදේශ ගමන් බලපත‍්‍රයක් තිබී සොයාගෙන ඇත.
ප්‍රශ්න කිරීමේදී ඇය හෙළිකළ චූදිත පුද්ගලයින් දෙදෙනා ඩෙන්මාර්කයේ සහ ස්විට්සර්ලන්තයේ වෙසෙන බව කියන කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා අරමුදල් රැස්කිරීම සඳහා මුදල් රැස්කළ අයයි.
2021 ඔක්තෝම්බර් මස මුල් සතියේදී NIA විසින් එල්ටීටීඊයේ ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ සට්කුනම් හෙවත් සබේසන් (47) චෙන්නායිහිදී අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අත්අඩංගුවට ගැනීම සමඟ මෙම විමර්ශනය තවත් පුළුල් වූ බව ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ලාංකිකයෙකු වන එම සැකකරු එල්ටීටීය පණ ගැන්වීම සඳහා හිටපු සාමාජිකයින්ට හෝ හිතවතුන්ට විශාල මුදලක් යවා ඇති බවට හෙළිවිය.
පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ඔහු සම්බන්ධ බවට සහ එම අපරාධයෙන් ලැබෙන ආදායම සංවිධානයේ හිටපු සාමාජිකයින්ට අරමුදල් සැපයීමට යෙදවූ බවට ලැබුණු තොරතුරු මත ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සට්කුනම් ලුහුබැඳ ගියේය.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම් යළි පණ ගැන්වීමේ උත්සාහයේදී මෙම පුද්ගලයින් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරමින් සිටි බව නිලධාරීන් උපුටා දක්වමින් ඉන්දීය වාර්තා පවසයි.
විත්තිකරුවන් ඉන්දීය ඕවර්සීස් බැංකුවේ මුම්බායි කොටුව ශාඛාවෙන් මුදල් ලබාගෙන ඇති බව NIA සඳහන් කර ඇත. එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම් යළි පණ ගැන්වීමට සහ ඉදිරියට ගෙන යාමට එම මුදල් ආපසු ලබා ගනිමින් තිබුණි.
ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානය බිඳ වැටීමෙන් පසු එම සංවිධානය නිහඬව සිටි බව ඉන්දීය බුද්ධි අංශ නිලධාරියෙක් පවසා තිබේ.
කෙසේ වෙතත්, පසුගිය වසර දෙක තුන තුළ ඔවුන් නැවත පිබිදීමක් ඇති කිරීමට උත්සාහ කරන බවට විවිධ සංඥා නිකුත් වූ බව ද ඉන්දීය වාර්තාවල දැක්වේ.
ඔවුන් උත්සාහ කරන්නේ තමිල්නාඩුවේ ඔවුන්ගේ නඩුව භාවිත කර ඔවුන්ගේ පණිවිඩය ප්‍රචාරය කිරීමට බවත් විශේෂයෙන් තරුණයින් එහිදී ඉලක්ක කරන බවත් ඉන්දීය වාර්තා පවසයි.
එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සිතන්නේ ඔවුන් ශ්‍රී ලංකාව තුළ තම ක්‍රියාකාරකම් යළි දියත් කිරීමට භාවිතා කළ හැකි අපේක්ෂිත වටපිටාව තමිල්නාඩුවෙන් ලබා ගැනීමට හැකි වනු ඇති බව යැයි ද එම වාර්තාවල දැක්වේ.
මේ මස මුලදී, තමිල්නාඩුවේ රහස් පොලීසියේ අපරාධ ඒකකය විසින් ශ්‍රී ලාංකික මත්කුඩු ජාවාරම්කරුවකු වන අංගොඩ ලොක්කා විසින් භාවිතා කරන ලද මෙරට නිෂ්පාදිත පිස්තෝලයක් මදුරෙයි ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත.
අංගොඩ ලොක්කා 2020 ජූලි මාසයේදී හෘදයාබාධයකින් මිය ගියේය. ඉන්දීය රහස් පොලීසියේ අපරාධ ඒකකය පවසා ඇත්තේ උණ්ඩ පහක් සහිත පිස්තෝලය වළලා ඇත්තේ මදුරෙයි නීතිඥයෙකු විසින් බවත් ඔහුගේ පියා කොටි හිතවාදියෙකු බවත්ය.
පාකිස්ථානයේ සිට මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ප්‍රවාහනය කිරීමට සම්බන්ධ බවට අත්අඩංගුවට ගත් ලොක්කා සහ සබේසන් අතර සබඳතාවක් පැවති බව එම ආයතනය ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.