තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට රබර් වගාවට ප්‍රංශයේ අතහිත

    මෙරට රබර් වගාවට ප්‍රංශයේ අතහිත

    ප්‍රංශය සමඟ එක්වී ශ්‍රී ලංකාව වඩාත් හොඳ නිෂ්පාදනයක් ලෝකයට ඉදිරිපත් කිරීමට හැකිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ඒරික් ලැවටු මහතා පවසයි.

    වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ඒරික් ලැවටු (EH. Eric Lavertu) මහත්වරුන් පෙරේදා (25) අගලවත්ත, ඩාර්ටින් ෆීල්ඩ් වතුයායේ පිහිටි රබර් පර්යේෂණායතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී ඔහු මේ බව කීය.

    නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙරට කුඩා රබර්වතු හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නියමිත නියමු ව්‍යාපෘතියේ පෙර සූදානම පිළිබදව සොයා බැලීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

    ප්‍රංශයේ ආර්ථික අමාත්‍යංශය මූල්‍ය හා තාක්ෂණික ආධාර මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

    අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල කුඩා රබර් වතු හිමියන් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක් කිරීමට නියමිතය.

    එහිදී පළමුව මොණරාගල දිස්ත්‍රික්කයේ කුඩා රබර් වතු හිමියන් 6000 දෙනෙකුට රබර් වගාවට නවීන තාක්ෂණය යොදාගත හැකි ආකාරය පිළිබඳව පුහුණු කරනු ලැබීය.

    මෙහිදී අදහස් දක්වමින් වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර සිටියේ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කිරීමෙන් වර්තමානය වන විට මෙරටට විශාල අදායමක් ලැබෙමින් තිබෙන බවය.

    මෙරට නිෂ්පාදන අංශය වැඩි දියුණු කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩ පිළිවෙලට තම අමාත්‍යංශය උපරිම සහයෝගය ලබාදෙන බව කී අමාත්‍යවරයා මෙරට නිෂ්පාදන අංශය වැඩිදියුණු කිරීමට වත්මන් රජයට නිෂ්චිත දිගු කාලීන වැඩ පිළිවෙලක් තිබෙන බවද සඳහන් කළේය.

    2019 වසරේදී මෙරට රබර් මිල අධිකව පහළ ගිය බව කී වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා ඒ හේතුවෙන් බොහෝ මිනිස්සු රබර් වගාවට එක්වීමට මැලි කමක් දැක්වූ බවද සඳහන් කර ඇත.

    නමුත් වත්මන් රජය බලයට පත්වීමත් සමඟ එම තත්ත්වය වෙනස්වූ බව සඳහන් කළ අමාත්‍යවරයා 2020 වසරේදී රබර් මෙට්ට්‍රික් ටොන් 7.5 ක් අපනයන කර තිබෙන බවද පැවසීය.

    මෙරට රබර් වගාවේ උන්නතිය වෙනුවෙන් ප්‍රංශ රජය දක්වනු ලබන සහයෝගය අගය කළ අමාත්‍යවරයා ඉදිරියටත් එම සහයෝගය අපේක්ෂා කරන බවද සඳහන් කළා.

    ශ්‍රී ලංකාවේ ප්‍රංශ තනාපති එරික් ලැවටු (EH. Eric Lavertu) මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙරට නිෂ්පාදන කේෂ්ත්‍රයේ දියුණුව සඳහා අවශ්‍ය ඕනෑම වේලාවක උදවු උපකාර කිරීමට ප්‍රංශ රජය සූදානමින් සිටින බවයි.

    දෙරට අතර පවතින මිත්‍රත්වය සිහිපත් කළ තනාපතිවරයා මෙවැනි නවීන ව්‍යාපෘතියක් වෙනුවෙන් තම රට සමඟ අත්වැල් බැඳගැනීම පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ස්තූතිවන්ත වන බවද සඳහන් කළා.

    සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙ‍හිදී සඳහන් කර සිටියේ කලුතර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 1200ක් පුරා පැතිර තිබූ රබර් වගාව මේ වනවිට හෙක්ටයාර 1100 දක්වා අඩුවී තිබෙන බවයි.

    පසුගිය කාලයේදී රබර් වගාකරුවන් මුහුණ දුන් විවිධාකාර ගැටළු මෙයට හේතුව බව කී රාජ්‍ය අමාත්‍යවරයා වත්මන් රජය එම ගැටළු විසඳමින් රබර් වගාව දියුණු කිරීමට කැපවී කටයුතු කරන බවද සඳහන් කළා.

    මෙරට රබර් වගාව දියුණු කිරීම‍ට රජය දිගුකාලීන සැලැස්මක් සහිතව කටයුතු කරන බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා එම සැළසුම් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජයට සහයෝගය දැක්වීම සම්බන්දයෙන් ප්‍රංශ රජයට සිය ස්තූතිය පළ කරන බවද වැඩිදුරටත් පැවසුවා.
    සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිලකරත්න බණ්ඩා, රබර් පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපතිනී මහාචාර්ය සුධීරා රංවල, රබර් පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ලක්ෂ්මන් රොඩ්රිගෝ, නියෝජ්‍ය අධ්‍යක්ෂ පර්යේෂණ (තාක්ෂණ) ආචාර්ය සුසන්ත සිරිවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ පර්යේෂණ (ජීව) අචාර්ය වාසනා විජේසුන්දර මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img