තවත්

    රවී එළියට

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා ඇතුළු හය දෙනකුට අධිකරණය මගින් අද ඇප ලබා දී තිබේ.

    2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

    අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය.

    ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බව ද නියෝග කළේය.

    එම නියෝගය ආගමන විගමන පාලකවරයා ඇතුළු ගුවන්තොටුපල බලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කර සිටියේය.

    විත්තිකරුවන් නඩු විභාග සඳහා අඛණ්ඩව පෙනී සිටීම අත්‍යාවශ්‍ය කරුණක් යැයි පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එසේ නඩු විභාගයට පෙනී සිටීම මඟහරිනු ලැබූවොත් ඇප අවලංගු කොට නඩු විභාග අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ද නියම කළේය.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පවතින නඩුකරය ඉතා සංකීර්ණ නඩු කටයුත්තක් බවය.

    එබැවින් විත්තිකරුවන්ට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට තිබෙන අයිතිය සුවිශේෂී කරුණක් සේ සලකා ඔවුන් ඇප මත මුදාහැරීමට තීන්දු කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

    අනතුරුව නඩුව යළි අප්‍රේල් මස 29 වනදා කැඳවීමට ද නියම කෙරුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img