ලෝක උරුමයක් වන නකල්ස් වනාන්තර ආශ්‍රිතවත් දැවැන්ත වන විනාශයක් සිදුවන බවට සමාජ මතයක් ගොඩ නැගීමට සංවිධානාත්මක කණ්ඩායමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බව නකල්ස් වනාන්තරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන පරිසර සංවිධාන සදහන් කරයි.
සංවේදී පරිසර කලාපයක් වන නකල්ස් ආශ්‍රිතව පරිසර විනාශයක් සිදුවන්නේ නම් ඊට එරෙහිව මුලින්ම හඩ නගන්නේ තමන් බවද එම සංවිධාන විසින් අවධාරණය කරයි.
නකල්ස් වනාත්තරය ආශ්‍රිතව වන පරිසර හානියක් සිදුවන බවට මේ වන විට ගොඩ නැගෙමින් ඇති සමාජ මතයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මාතලේ ගැෆෙක් ශ්‍රී ලංකා පරිසර සංවිධාන කාර්යාලයේ පරිසර සංවිධාන කිහිපයක් ඉකුත් 28 වෙනිදා මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි.
එහිදී ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සභාපති සුරන්ජිත් කොඩිතුවක්කු මහතා සදහන් කරනු ලැබුවේ මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක දෙක තුළ ව්‍යාප්තව පවතින නකල්ස් වනාන්තරය සිය සංවිධානය විසින් ආරක්ෂා කරන්නට මැදිහත්ව සිටින්නේ වසර ගණනාවක් තිස්සේ බවය. මීමුරේ, ලකේගල, රණමුරේ ආදී ප්‍රදේශවලට ආවේණික පරිසරක් පවතින බවත් එම පරිසර පද්ධතියේ ජීවත්වනජනතාවගේ යහපත ගැනත් සොයා බැලිය යුතු බවත් සුරන්ජිත් කොඩිතුවක්කු මහතා සදහන් කළේය. ජනතාවගේ සමාජ ආර්ථික දියුණුව සදහා වැඩ කල යුතු බවත් මේ වන විට තිරසාර සංවර්ධන කටයුතු සිදුවෙමින් ඇති බවත් ඔහු පවසයි.
තවත් පරිසර සංවිධානයක් වන නිර්මාණි පදනමේ අධ්‍යක්ෂ නිමල් හේවාතිලක මහතා පෙන්වා දෙන්නේ දේශිය හෙළ පරම්පරාවකට උරුමකම් කියන නකල් වන පෙත අවට ජීවත්වන ජනතාව මෙම පරිසර පද්ධතිය විනාශ කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවයි. ඒ අය මෙම පරිසර පද්ධතිය ආරක්ෂාකර ගන්නා බවද ඔහු පවසයි.
ගැෆෙක් ශ්‍රී ලංකා පරිසර සංවිධානයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා සදහන් කරන්නේ මෙම පරිසර පද්ධතිය නැරඹීමට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බවය. 2010 වසරේ ලෝක උරුමයක් ලෙස යුනිස්කෝ සංවිධානය මෙම පරිසර පද්ධතිය නම් කිරීමත් සමග ලෝකයේම අවධානයට මෙය ලක්ව තිබෙන බවද ඔහු පවසයි. 2018 වසරේදී පමණ 70000 කට වැඩි සංචාරකයින් පිරිසක් මෙම වන පෙවතේ සිරි නරඹන්නටත් සතා සිව්පාවන් දකින්නටත් පැමිණ ඇතැයිද ගාමිණී ජයතිස්ස මහතා සදහන් කළේය.
එසේ පැමිණෙන සංචාරකයින්ගේ පහසුකම් සදහා පරිසර හිතකාමී ලෙස ඉදිකිරීම් කල යුතුව ඇතැයි ද ඔහු වැඩිදුරයත් පැවැසීය.