තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැයට කලින් ගුරු- විදුහල්පතිවරුන්ට බැසිල් කී රහස

    අයවැයට කලින් ගුරු- විදුහල්පතිවරුන්ට බැසිල් කී රහස

    ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා ලබන අයවැයෙන් අමතර රුපියල් මිලියන 30,000ක් වැය කරන බවත් ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට මෙරට අධ්‍යාපන සඳහා වැය කරන මුදල සමස්ත අයවැයෙන් 7.51%ක් වනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන්ට අද දැනුම් දී තිබේ.

    විසි පස් වසරකට ආසන්නව පවතින වැටුප් විෂමතාව ඉවත් කිරීම දැනුම් දීම සඳහා අද (10) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 01 හි පැවති හමුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයට ගුරු- විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයෝ සිය ප්‍රණාමය පුද කළහ. ඒ අනුව වෘත්තිය සමිති ඉල්ලීම ඉටු කිරීමට ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ස්තුති කළේය.

    මෙම හමුවේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

    “අපි මේ පිළිබඳව මුලින්ම සාකච්ඡා කළේ ජූලි මාසේ 26 වැනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දීයි. එහි දී මහාචාර්ය ජී.එල් පීරිස් මැතිතුමත්, ගාමිණී ලොකුගේ මැතිතුමා, ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමත්,විමල් වීරවංශ මැතිතුමත්, උදය ගම්මන්පිල මැතිතුමත්, රමේෂ් පතිරණ මැතිතුමත්, ලසන්ත අලගියවන්න මැතිතුමත් ඇතුළත් කමිටුවක් පත් කළා. ඒක පසුව 4 දෙනෙකුට සීමා වුණා. එහි නිර්දේශයක් ඉදිරිපත් කළා. මුදල් අමාත්‍යවරයා හැටියට මගේ නිරීක්ෂණය ඉදිරිපත් කළේ මූලිකව මෙම ඉල්ලීම් සියල්ල වැටුප් වැඩිවීමක් නෙමෙයි කියලා. මේක අවුරුදු විස්සක් විසි පහක් පවතින ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයක්. මෙය නිවැරදි කරන්න කියලා තමයි ඉල්ලීම ඉදිරිපත් කරලා තිබුණෙ. අපේ නිර්දේශය වුණේ සමස්ත රාජ්‍ය සේවය තුළ වැටුප් සම්බන්ධ අසමමිතිකතාවක් ඇති නොවන පරිදි ඉදිරි අය-වැය තුළින් සළකා බැලීම සුදුසුය කියලා.

    දැන් අය-වැය එනවා. අදාළ නිර්දේශ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය එකඟත්වය පළ කරලා තියෙනවා. මේ පිළිබඳව මල්-වතු අස්ගිරි මහ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දේශපාලන පක්ෂත්, මා හමුවුණ අවස්ථාවලදිත් පැවසුවේ මේ ගුරු-විදුහල්පති ප්‍රශ්නය මෙවර අය-වැය තුළින් විසඳන්න කියලා. ගරු අගමැතිතුමත් විශේෂයෙන්ම ජනාධිපතිතුමත් අධ්‍යාපන ඇමතිතුමත් නිර්දේශ කරලා තියෙනවා අනිවාර්යයෙන්ම මේක විසඳන්න කියලා. වෘත්තිය සමිති පැත්තෙන් විශාල සහයෝගයක් මේ වෙලාවේ අපට ලැබිලා තියෙනවා. අපට ඕන වුණ එකම දේ අධ්‍යාපනය ළමයින්ට ලබා දෙන්න. මේ වෙනකොට සියලුම පාසල් විවෘත කරලා සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල් කටයුතු සිදුවෙනවා. ඒ නිසා අපි බොහොම අමාරුවෙන් වුණත් නිර්දේශිත මේ මුදල වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.

    මේක විෂමතාවක් ඉවත් කිරීමක් මිස වැටුප් වැඩිවීමක් නෙමෙයි. මෙතන සිටින මහා සංඝරත්නය ඇතුළු වෘත්තිය සමිතිවලින් මම ඉල්ලා සිටිනවා අවුරුදු විසි ගණනක් විසඳන්න බැරිව තිබුණ වැටුප් විෂමතාවක් සාධාරණ මට්ටමෙන් විසඳීමක් විධියට දකින්න කියලා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව දැනට වෙන් කරලා තියෙන මුදලට අමතරව රු. මිලියන 30000ක් අපි ලබන අය වැයෙන් ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වෙන් කරනවා. අය-වැයටත්, කැබිනට් මණ්ඩලයටත් ඉස්සරවෙලා ඔබතුමාලට කිව්ව එකම රහස ඒක.

    අනිත් ඇමතිවරු දොස් කියන එකක් නැහැ. විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුත් මෙතන නොහිටියත් මේක විසඳන්න කියලා ඉල්ලුවා. එයත් සිහිපත් කරනවා. දරුවන්ගේ අනාගතය රටේ අනාගතය වෙනුවෙන් මෙය විසඳන්න අපි තීරණය කළේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කරන්න කියලා සමහරු උද්ඝෝෂණය කළා. අවසානයේ ඔවුන්ගෙ වැටුප් සියල්ල වැඩි කළා. හැබැයි ඊට පස්සේ සියයට 6 අමතක කළා.

    හැබැයි අපි මේ පාර අය වැය ලේඛනයෙන් අපේ සම්පූර්ණ වියදමෙන් සියයට 7.51ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරනවා. ඒ මේ රටේ අනාගතය වෙනුවෙන් එය වෙන්කරන්නෙ. ජනාධිපතිතුමත්,අගමැතිතුමත් විශේෂයෙන් අධ්‍යාපන ඇමතිතුමත් අපෙන් ඉල්ලුව මේක කරන්න කියලා. මේ ඉතිහාසයේ පළමුවැනි වතාවට අධ්‍යාපනය සඳහා සමස්ත අය වැයෙන් සියයට 6 ඉක්මවන්නෙ.

    එදා උද්ඝෝෂණ කළ අයට අමතක වුණාට, මහින්ද ජනාධිපතිතුමා ඇතුළු අපේ රජයට එය අමතකු වුණේ නැහැ. අපි පිළිගන්නවා අධ්‍යාපනය මේ රටේ ලොකුම ආයෝජනය කියලා. සෞඛ්‍ය හා අධ්‍යාපනය ගත්තම අපි ලෝකයේ ඇතැම් දියුණු රටවලට සමාන මට්ටමේ ඉන්නවා. දකුණු ආසියාවේ අපි ඉහළම තැනක ඉන්නවා. අයෝජනය වගේම ඵලදායීතාවත් වැඩි කරන්න කියලා අපි මේ හැම වෘත්තිය සමිති නියෝජිතයෙකුගෙන්ම ඉල්ලනවා. අධ්‍යාපනය දියුණු කරන්න ඔබ සියලු දෙනාගේ සහයෝගය අධ්‍යාපන අමාත්‍යාංශයට, රජයට දෙන්න කියලා ඉල්ලනවා. ඊට එහා යන ඉල්ලීම් ගැන මුදල් ඇමතිවරයා හැටියට අපිට කතා කරන්න පුළුවන්” යැයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    අමාත්‍යවරුන්වන බැසිල් රාජපක්ෂ,දිනේෂ් ගුණවර්ධන මහත්වරු ඇතුළු මැති ඇමතිවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න,වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සුමිත් විජේසිංහ, ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං,ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ,ශ්‍රී ලංකා වෘත්තියවේදී විදුහල්පතිවරුන්ගේ සංගමයේ සභාපති සුගීශ්වර විමලරත්න, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ මොහාන් වීරසිංහ මහත්ම මහත්මීහු ඇතුළු ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img