තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාවත් ක්‍රීඩා කරන ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය අද ඇරඹෙයි

    ලංකාවත් ක්‍රීඩා කරන ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය අද ඇරඹෙයි

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘’අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන’’ සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය අද (08) දින කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ වේ.

    මෙහි සමාරම්භක උත්සවය කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුව මාලදිවයින් ජනාධිපති ගරු ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මැතිතුමා හා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    බංග්ලාදේශය, සී ෂෙල්ස් රාජ්‍යය, මාලදිවයින හා ශ්‍රී ලංකාව මෙම තරගාවලියට එක්වනු ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකාගාරයේ ධාරිතාවෙන් අඩකට අවස්ථාව හිමි වන අතර කොවිඩ් එන්නත්කරණ කාඩ්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තරග පැවැත්වෙන දිනයන්හි දී ක්‍රීඩාංගණ දොරටුවෙන් ප්‍රවේශ පත් ලබාගත හැක.

    මෙම තරගාවලිය නැරඹීම සඳහා විදේශීය ප්‍රේක්ෂකයින්ට ද අවස්ථාව සලසා ඇත. ඔවුන් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ගුවන් ටිකට්පත්, නේවාසික පහසුකම් හා තරගාවලි ප්‍රවේශ පත්‍ ඇතුළත් විශේෂ පැකේජයක් හඳුන්වා දී ඇත. ඒ හරහා මේ වනවිටත් විදෙස් පාපන්දුලෝලීන් දහසකට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් ප්‍රේක්ෂකාගාරය තුළ දේශීය හා විදේශීය ක්‍රීඩාලෝලීන් හට වෙන් වෙන්ව තරගාවලිය නැරඹීමට අවස්ථාව ලැබෙන පරිදි ස්ථාන වෙන් කර ඇත.

    තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශය හා සී ෂෙල්ස් රාජ්‍යය අතර අද (08) ප.ව.4.00ට කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ. දෙවන තරගය අද රාත්‍රී 9.00 ට ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැත්වේ.

    ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක නොවැම්බර් 19 වනදා අවසන්ත මහා තරගයේ තරග වැදීමට නියමිතය. ජයග්‍රාහී කණ්ඩායමට ‘‘අගමැති මහින්ද රාජපක්ෂ කුසලානය’’ සමග ඇ.ඩොලර් 30,000ක ත්‍යාග මුදලක් පිරිනැමේ.

    මෙහි සමාප්ති උළෙල ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙම අවස්ථාවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මහතා ද (Gianni Infantino) සහභාගීවීමට නියමිතය.

    Four Nations Match Schedule
    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img