තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සල්ලි කොල්ලකන අලුත් විදියක් - අහුවෙන්න එපා

    සල්ලි කොල්ලකන අලුත් විදියක් – අහුවෙන්න එපා

    විවිධ සංවිධානාත්මක පාර්ශ්ව විසින් ඔවුන්ගේ ගිණුම්වලට, විශාල පරිමාණයෙන් විදේශ විනිමය සහ/හෝ දේශීය මුදල් බැර කර ඇති බවත් එම ගිණුම් තාවකාලික ව අත්හිටුවා ඇති බවත් දක්වමින් සහ එම මුදල් නිදහස් කර ගැනීම සඳහා සහය දෙන්නන් හට ප්‍රමාණාත්මක ගෙවීමක් සිදු කරන බවට දැනුම් දෙමින් සිදු කරන මුල්‍ය වංචා සම්බන්ධයෙන් තොරතුරු ලැබෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ඇතැම් අවස්ථාවල දී එම වංචාකරුවන් විශාල මුදල් ප්‍රමාණයක් විවිධ ගිණුම් වෙත බැර වී ඇති බව දැක්වෙන ව්‍යාජ ලේඛන පෙන්වා සිටින අතර ඔවුන්ට එම මුදල් ආපසු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය ලබා ගැනීම පමණක් අවශ්‍ය වන බව පවසන බව අනාවරණය වී තිබේ.

    මෙවැනි අවස්ථාවන්හි දී, වංචාකරුවන් අදාළ ගනුදෙනුව සිදු කිරීම සඳහා බැංකු ගනුදෙනුකරුවන්ගෙන් සිය පුද්ගලික හැඳුනුම් අංක (PIN), කාඩ්පත්වල පිටුපස සඳහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදා ගන්නා CVV යන්නෙන් හැඳින්වෙන ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංක, ගනුදෙනු සහතික කිරීමේ දී යොදා ගන්නා එක්ර වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP) වැනි හර කාඩ්පත්/ණය කාඩ්පත්වලට අදාළ තොරතුරු සහ ජංගම බැංකුකරණයේ දී /අන්තර්ජාල බැංකුකරණයේ දී යොදා ගන්නා පරිශීලක නාමය (User ID), මුරපදය (Password) හා එක් වරක් පමණක් භාවිත වන මුරපද වැනි ගිණුම් තොරතුරු ඉල්ලා සිටිනු ලබයි. එවැනි විස්තර සැපයීමෙන් ගනුදෙනුකරුවන් නිසැකයෙන් ම බරපතල මූල්‍ය වංචාවකට ලක් වනු ඇත.

    මෙවැනි ව්‍යාජ දැන්වීම් හා ක්‍රියාවන්වලට හසු නො වන ලෙසත් මෙවැනි වංචා පිළිබඳ සුපරීක්ෂාකාරී වන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට අවධාරණය කර සිටී. තමන්ගේ රහස්‍ය තොරතුරු, විශේෂයෙන් ම ගිණුම් පරිශීලක නාම, මුරපද, පුද්ගලික හැඳුනුම් අංක, එක් වරක් පමණක් භාවිත වන මුරපද, හෝ ගිණුම්වලට පිවිසීමේ දී ගිණුම් හිමියාගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා භාවිත කළ හැකි වෙනත් ඕනෑ ම තොරතුරක් අනෙකුත් කිසිඳු පාර්ශ්වයක් සමඟ හුවාමාරු කර නො ගත යුතු බවට ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දන්වා සිටී. තව ද, මහජනතාවට සිය ගිණුම් භාවිත කරමින් සිදු වන ඕනෑ ම වංචනික ක්‍රියාවක් පිළිබඳ ව ක්ෂණික ව දැනුම්වත් වීම සඳහා තම බැංකුවලින් කෙටි පණිවිඩ වැනි එසැණින් ගනුදෙනු සම්බන්ධ තොරතුරු දැනුම් දීමේ සේවා සක්‍රීය කර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img