තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති

    වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති

    මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අද (28) දින අපවත් වූහ.

    ත්‍රිපිටකය වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද , දර්ශන විශාරද, ආචාර්ය, අග්ගමහා සද්ධම්මජෝතිකධජ, මහෝපාධ්‍යාය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත්වනවිට පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේනාධිපති සහ අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කළහ.

    1937 පෙබරවාරි 20 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල,දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ පිහිටි වැලමිටියාව නම් ගම්මානයේ දී පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් උන්වහන්සේ උපත ලැබූහ.

    පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආලෝකවත් කළ පස්වැනි පරිවෙනාධිපති වූ සාහිත්‍ය චක්‍රවර්තී පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක හිමි හුරුක්ගමුව රාජමහා විහාරාධිපතිව වැඩවිසූ හුරුක්ගමුවේ ගුණරතන නායක හිමියන්ගේ ද අවසරය ලබාගෙන මෙම පින්වන්ත දරුවා මහණ කිරීම සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට කැඳවා ගෙන ආහ.

    1954 ජනවාරි මස 07 වන දින තවත් තරුණයන් 9 දෙනෙකු සමඟ එවකට පරිවේනාධිපති වූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි කර ඇත. එම කාලයේ දී තරුණ කුසලධම්ම හිමියන්ට විද්‍යාලංකාර සම්ප්‍රදාය, භික්‍ෂු ආකල්ප හා ධර්ම ඥානය ලබා ගැනීමට යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන්ගෙන් විශාල පිටුබලයක් ලැබී තිබේ.

    උපසම්පදාව ලබා ගත් කුසලධම්ම හිමියෝ 60 වැනි දශකය මුල් භාගයේ දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධියක් හිමි කර ගත්හ. ඉන්පසුව උන්වහන්සේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන මුල්කොට ගෙන ධර්මශාස්ත්‍ර සේවාව ආරම්භ කළහ.

    වර්ෂ 1983 පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්‍ෂ ධූරයට පත් වූ උන්වහන්සේ 1989 දී තත් විද්‍යාස්ථානයේ පරිවෙනාධිපති නම් කෙරුණු ලැබූවත් අප්‍රමාණ ගුරු භක්තිය හේතුවෙන් ඒ වන විට රෝගාතුරව පසු වූ නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමියන්ට එම ධුරය පිරිනැමීමට තරම් අනතිමානී වූහ.

    නාත්තන්ඩියේ නාහිමියන් 1990 දී අපවත් වීමෙන් අනතුරුව පරිවේනාධිපතිත්වයට පත් කුසලධම්ම නාහිමියෝ එතැන් සිට අපවත් වන තුරු ම සම්බුද්ධ ශාසනය බැබලවීමට කටයුතු කළහ.

    ඒ නිසාම මල්වතු මහා විහාරයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ උපාධ්‍යාය ධූරයන්ගෙන් පිදුම් ලැබූ නාහිමියෝ බුරුම රජයේ අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ ගෞරවනාමයෙන් ද පුද ලැබූහ.

    සෑම මසක ම අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කිරීම වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දිවියේ සිරිතක් ව තිබී ඇත.

    තොරතුරු මූලාශ්‍රය © සංගායනා ෆේස්බුක් පිටුවෙනි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img