දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ අදට (26) යෙදී ඇති 62 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලට හිටපු
ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා දෙකක දී පැමිණ පුෂ්පෝපාහාර දැක්වූහ.
ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාම නොමැති අවස්ථාවක පැමිණ බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපාහාර දක්වා පිටව ගියේය.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගුණානුස්මරණ උත්සවයක් මෙවර සංවිධානය නොවීය. එහෙත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් චාම් ගුණානුස්මරණ උත්සවයක් සංවිධානය කර තිබුණු අතර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනයක් පැහැදිලිවම දක්නට නොවීය.
“ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළේ බණ්ඩාරණායක මහතාගේ නම විකුණා ගෙන කෑම විතරයි. හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධුරය දැරූ කාලයේ එකවතාවයි බණ්ඩාරනායක ගුණ සැමරුමට මෙම
ස්ථානයට ආවේ. කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ගුණ සමරුව පවත්වලා නැහැ. අද මේ කටයුත්ත කරන්නෙත් පවුලේ සාමාජිකයන් පමණයි. නමුත් හිටපු ජනාධිපති අද එන්න ඉඩ
තියෙනවා. මොකද හැම තැනින්ම පන්නල ඉන්නේ. ඒ හින්ද අද එන්න ඉඩ තිබෙනවා.“ යැයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මාධ්‍ය අමතමින් සඳහන් කළාය.
ඇය පිටව ගිය පසු එම ස්ථානයට පැමිණි කුමාර වෙල්ගම මහතා සමාධියට පුෂ්පෝපාහාර දක්වා පිටව යන අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.
“බණ්ඩාරනායක ප්‍රතිපත්තියට අනුව අපි ශ්‍රී ලංකා හැටියට ඉදිරියට යනවා ගොඩක් අය අපිත් එක්ක එකතුවෙනවා. ඉදිරියේදී අපිත් එක්ක පාර්ලිමේන්තුවේ විශාල පිරිසක් එකතු වෙන්න යනවා.“
යැයි එහිදී මන්ත්‍රී වෙල්ගම පැවැසීය.
අනතුරුව එම ස්ථානයට පැමිණියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහු සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරු ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබිණි.
“රජය සමග කටයුතු කරන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්තියත් එක්කයි. බණ්ඩාරනායක මැතිතුමාගේ දර්ශනය තුළ කටයුතු කිරීම තමයි එතුමාට කරන ලොකුම ගෞරවය වෙන්නේ. ඒ නිසා එතුමා ගෙන ගිය වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම තමයි අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධියට රට වෙනුවෙන් කරන්නේ.“ යනුවෙන් එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා සැනෙකින් එම ස්ථානයෙන් පිටව ගියේය.