තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද හෙට සංචාරක කර්මාන්තය දියුණු වෙනවාද? - ශ්‍රීලංකන් සභාපති අශෝක් පතිරගේ කියන...

    අද හෙට සංචාරක කර්මාන්තය දියුණු වෙනවාද? – ශ්‍රීලංකන් සභාපති අශෝක් පතිරගේ කියන කතාව

    මෙරට සංචාරක පුනර්ජීවනයේ පෙර සලකුණු ඉදිරිපත් කරමින් ඉදිරි ශීත සෘතුවේදී පමණක් ජාතික ගුවන් සේවයට ඩොලර් මිලියන 500 කට අධික ඉපැයීමක් කළ හැකි වනු ඇති බවට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා විශ්වාසය පළ කර තිබේ.

    ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවා වේගවත් කරන විට එහි ඉල්ලුම ද ඉහළ යමින් තිබෙන බව හෙතෙම පෙන්වා‍ දෙයි.

    “ඉදිරි කාලයේ දී ඉතා කාර්ය බහුල කාලසටහනකට අපි සූදානම් වෙමින් සිටින්නෙමු, ”යැයි අශෝක් පතිරගේ මහතා ඩේලි එෆ්ටී වෙත අදහස් දක්වමින් පවසා ඇත.

    ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වෛරසයට එරෙහිව එන්නත්කරණ වැඩසටහන වේගයෙන් ක්‍රියාත්මක වීමත්, සංචාරක ක්ෂේත්‍රයේ සීමා ලිහිල් කිරීමත් සමඟ සංචාරක කර්මාන්තය සඳහා ඉක්මනින් පුනර්ජීවනයක් ලබා ගැනීමේ අපේක්ෂාව යහපත් අතට හැරී ඇති බවයි.

    ශ්‍රී ලන්කන් සභාපති අශෝක් පතිරගේ මහතා

    ශ්‍රී ලංකාව තවදුරටත් එක්සත් රාජධානියේ සංචාරක රතු ලැයිස්තුවට ඇතුළත් නොවන අතර, විවිධ සමීක්‍ෂණ මඟින් ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත්කරගැනීමට උත්තේජන සපයන බව ඔහු කියා සිටියි.

    එක්සත් රාජධානිය, ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම සංචාරක ප්‍රභවයයි. 2018 වසරේ දී 250,000 කට වඩා මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් එය මනාව තහවුරු වේ. මේ අනුව ජාතික ගුවන් සේවය, එහි ප්‍රමුඛ ස්ථානයක් ලෙස ලන්ඩන් වෙත ගුවන් ගමන් සේවා තවදුරටත් වේගවත් කරනු ඇති බව සභාපතිවරයා අවධාරණය කළේය.

    වසර පහක දීර්ඝ විරාමයකින් පසු මොස්කව් වෙත සිය සේවා නැවත ආරම්භ කිරීම ද මෙහි දී වාසිදායක වී ඇති බව පෙන්වා දෙන අශෝක් පතිරගේ මහතා ඉහළ යන ඉල්ලුම හමුවේ නොවැම්බර් මාසයේ සිට ශ්‍රීලංකන් දෙවන ගුවන් යානය ද එම ගමනාන්තය සඳහා යොදවන බව කියා සිටියේය.

    ඊට අමතරව, කසකස්තානය නැගී එන වෙළඳපොලක් බවට පත්වීමත් සමඟම, එවැනි විශාල සංචාරක ක්‍රියාකරුවෙකු සමඟ හවුල් වීමෙන් නොවැම්බර් මාසයේ සිට සතියකට වාණිජ ගුවන් යානා දෙකක් බැගින් ශ්‍රීලංකන් හඳුන්වා දෙනු ඇත.

    මෙම වසරේ මුල් මාස අට තුළ දී කසකස්තානය ශ්‍රී ලංකාවේ විශාලතම සංචාරක මූලාශ්‍ර වෙළඳපොල බවට පත්ව ඇත. කසකස්තානයේ සිට සංචාරකයන්ගේ පැමිණීම් 3,000 කට වැඩි සංඛ්‍යාවක් සමඟින් සමස්තයෙන් 13% ක කොටසකට හිමිකම් කියයි. එය පසුගිය වසරේ අදාළ කාලයට වඩා 37% කින් ඉහළ යාමකි.

    නැවත ප්‍රංශය වෙත පැමිණෙන බව නිවේදනය කරමින්, නොවැම්බර් සිට සතිපතා පැරීසියට ගුවන් ගමන් ආරම්භ කරන බව ශ්‍රී ලංකන් දැනටමත් නිවේදනය කර ඇත.

    වසර පහක විරාමයකින් පසු නැවත ප්‍රංශය වෙත පැමිණෙන බව නිවේදනය කරමින්, නොවැම්බර් සිට සතිපතා පැරීසියට ගුවන් ගමන් ආරම්භ කරන බව ශ්‍රී ලංකන් දැනටමත් නිවේදනය කර ඇත. එහි මූලික වෙන්කරවා ගැනීම්වල තත්ත්වය ඉතා දිරිගන්වන සුළු බව ද අශෝක් පතිරගේ මහතා පැවසීය.

    එයාර් ‍ෆ්‍රාන්ස් ද වසර 35 කට පසු නව පෙරළියක් සිදු කරමින් නොවැම්බර් සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කළේය. කොවිඩ් වසංගතයට පෙර ශ්‍රී ලංකාවේ 100,000 කට අධික සංඛ්‍යාවක් සංචාරකයන්ගේ පැමිණීමත් සමඟ ප්‍රංශය ශ්‍රී ලංකාවේ පස්වන විශාලතම සංචාරක ප්‍රභව වෙළඳපොල විය.

    සභාපතිවරයා පෙන්වා දෙන්නේ මෙම දිරිගන්වන සුළු තත්ත්වයන් සමඟ නොවැම්බර් 4 දා සිට ස්විට්සර්ලන්තය විසින් සූරිච් සිට සතිපතා ගුවන් ගමන් වාර දෙකක් ආරම්භ කරනු ඇති බවයි.

    ‘ශීත සෘතුවේ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 500 කට අධික විදේශ විනිමයක් උපයන අතර එමඟින් මුල් පුනර්ජීවනය ඇති වන බව මට විශ්වාසයි. ලබන වසරේ දී සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 2-3 අතර ආදායමක් ලබා ගත හැකි” බව ශ්‍රී ලංකන් සභාපතිවරයා විශ්වාසය පළ කළේය.

    විශේෂිත සිදුවීම් නොමැතිව ගෙවුණු 2018 වසරේදී ද මිලියන 2.3 ක් පමණ වන සංචාරකයන්ගේ පැමිණීමත් සමඟ සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 4.4 ක වාර්තාගත ආදායමක් උපයා ඇත. කෙසේ වෙතත්, 2019 අප්‍රේල් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව හා කොවිඩ් වසංගතයෙන් පසුව කර්මාන්තය දැඩි අර්බුදයකට පත්විය. 2019 දී සංචාරකයින්ගේ පැමිණීම මිලියන 1.9 දක්වා අඩු වූ අතර ඉපැයීම් ඩොලර් බිලියන 3.6 දක්වා අඩු විය. ගිය වසරේ සංචාරක පැමිණීම් 508,000 දක්වා ද ආදායම ඩොලර් මිලියන 682 දක්වා ද අඩු වී තිබුණි.

    පසුගිය මාසය තුළ ගමනාන්ත හයකට ගුවන් ගමන් නැවත ආරම්භ කළ පසුව ඉන්දියාවෙන් ඉල්ලුම ඉහළ යන ආකාරය දක්නට හැකි බව සභාපතිවරයා කියයි . ‘මේ වන විට අපි දිනපතා ඉන්දියාවේ සිට මගීන් 400-500 ක් ගේනවා. නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව නැවත සංචාරක කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කිරීමත් සමඟ විශාල වර්ධනයක් එක්කම ලොකු ඉල්ලුමක් තියේවි’ යැයි අශෝක් පතිරගේ මහතා පැවසීය.

    ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවය ඔක්තෝම්බර් මාසයේ සිට ජපානයේ සහ මැද පෙරදිග සිට ගුවන් ගමන් වැඩි දියුණු කිරීමට අපේක්ෂිතයි.

    ‘අපි මේ කතා කරන මොහොත වනවිටත් ශ්‍රී ලංකන් ගුවන් සේවය කොවිඩ් කාලයට පෙර ලැබු ආදායමෙන් 50% ක් ආපසු ලබාගෙන තිබෙනවා. ලබන මාසයේ සිට සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාර කටයුතු ඉහළ නැංවීමේ ඉහළ විභවතාව ගැන අපි සතුටු වෙනවා’ යනුවෙන් පතිරගේ මහතා පැවසීය.

    ජනවාරි 21 දින සංචාරක සීමා නැවත විවෘත කිරීම නොතකා, සංචාරක ව්‍යාපාරය දැඩි අසීරුතාවයකට පත් වීමට හේතු වූයේ ලංකාවේ කොවිඩ් රැළි ගණනාවක් ඒමය. ඒ හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට පැනවුණු සීමාවන් ද මේ සඳහා බලපෑවේය.

    මේ වසරේ මුල් මාස අට තුළ දී සංචාරකයින් පැමිණ ඇත්තේ 24,377 ක් පමණි. අගෝස්තු මාසයේ දී පමණක් සංචාරක පැමිණීම් 5,040 දක්වා ඉහළ ගොස් ඇත. එය සීමා නැවත විවෘත කිරීමෙන් පසු ලද ඉහළම අගයයි. සංචාරක ව්‍යාපාරයෙන් ජූලි මාසයේ දී ඉපැයීම් ඩොලර් මිලියන 3 ක් වන අතර මේ වසරේ මුල් මාස හත තුළ එය ඩොලර් මිලියන 26 ක් ලෙස ගණන් බලා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img