Home උණුසුම් පුවත් LPL දෙවැනි අදියරට ක්‍රීඩක ලියාපදිංචිය ඇරඹෙයි

LPL දෙවැනි අදියරට ක්‍රීඩක ලියාපදිංචිය ඇරඹෙයි

LPL දෙවැනි අදියරට ක්‍රීඩක ලියාපදිංචිය ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සැප්තැම්බර් 24 වැනි සිකුරාදා දින සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවිය වන www.srilankacricket.lk ට ගොස් ඒ සඳහා ලියාපදිංචි විය හැකිය.

අයැදුම් කිරීමට බලාපොරොත්තුවන ක්‍රීඩකයින් ඔක්තෝබර් මස 05 වැනිදා මධ්‍යාහ්න 12 ට පෙර සිය අයැදුම්පත් ලියාපදිංචි කොට අවසන් කළ යුතු වේ.

එසේ සිදුකරනු ලබන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියෙන් පසු එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩකයින් තේරීම වෙනුවෙන් වූ කෙටුම්පත් කිරීමට (Player Draft) සුදුසුකම් ලබනු ඇත.

– විදේශීය ක්‍රීඩකයින්

එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පතට සුදුසුකම් ලැබීමට බලාපොරොත්තු වන විදෙස් ක්‍රීඩකයින් පහත සඳහන් සුදුසුකම් සපුරාලිය යුතු වන අතර, එහිදී ක්‍රීඩකයින් ඔවුන්ගේ ජාතික කණ්ඩායම නියෝජනය කර තිබීම, නැතහොත් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබීම, නැතහොත් පූර්ණ සාමාජික මණ්ඩල තරගාවලිවල ප්‍රධාන විස්සයි-20 තරගාවලි පාදක කරගනිමින් පවත්වා ඇති තරගාවලියක් හෝ ක්‍රීඩා කර තිබිය යුතු වේ. එම ක්‍රීඩකයින් අදාළ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ක්‍රීඩකයින් විය යුතුය.

– කණ්ඩායම් සංයුතිය

දෙසැම්බර් 04 වැනිදා සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් දෙවැනි අදියරය, පෙර තරගාවලිය පරිදිම කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත. කණ්ඩායමේ මූලික සංචිතය ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත විය යුතු වන අතර එහිදී දේශීය ක්‍රීඩකයින් 14 ක් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු එක් කර ගැනීමේ හැකියාව කණ්ඩායම් හිමිකාරීත්වයට හිමිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here