අනන්‍යතාවය ආරක්ෂා කිරීමත් සමඟ ප්‍රජාවන් අතර ඒකාබද්ධ වීමේ සාධනීය ප්‍රතිඵල පිළිබඳව, නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ 76 වන සැසිවාරයේ ඉහළ පෙළේ කොටසට පෙර පැවති රැස්වීමක දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) මහලේකම් යූසෙෆ් අල්-ඔතායිමීන් මහතා යළි අවධාරණය කළහ.
මේ වසර මුලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති දුරකථන සංවාදය සිහිපත් කළ අමාත්‍ය පීරිස් මහතා, ශ්‍රී ලංකාව සහ මුස්ලිම් ලෝකය අතර පවතින දිගුකාලීන ඇසුර හා සමීප සබඳතා පිළිබඳව සඳහන් කළේය.
පලස්තීන රාජ්‍යය ප්‍රථමයෙන් පිළිගත් රටවල් අතර ශ්‍රී ලංකාව ද වූ අතර, හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා පලස්තීන මිත්‍රත්ව සංගමය පිහිටුවා, පසුගිය වසර 25 තුළ එහි සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාව අඛණ්ඩව පලස්තීන අරගලය සඳහා සහයෝගය දුන් බවත්, ඒ සඳහා පිළිගැනීමක් වශයෙන් රාමල්ලාහි මාර්ගයක් හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගේ නමින් නම් කොට ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
මානව හිමිකම් කවුන්සිලය ඇතුළු බහුපාර්ශ්වික වේදිකාවල දී ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය විදේශ අමාත්‍යවරයා අගය කළ අතර, එහිදී ඔවුහු දේශපාලන අරමුණු සඳහා රටවලට වෙන් කොට සැලකීමට විරුද්ධ වෙමින්, තමන්ගේ ජාතික ගැටලු විසඳා ගැනීම සඳහා එම රටවලට ඉඩ හරින ලෙස ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකාව සහ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය හා එහි සාමාජික රටවල් අතර පවතින සමීප හා දිගුකාලීන සබඳතා මහලේකම් අල්-ඔතායිමීන් මහතා අගය කළේය. ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය ගෝලීය වශයෙන් මුස්ලිම් ජනතාවගේ සුභසාධනය ගැන සැලකිලිමත් වන අතර දේශීය සංස්කෘතීන්ට සහ රටේ නීතියට ගරු කරන ලෙස සෑම විටම මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටි බව ඔහු සඳහන් කළේය.
හුදෙකලාව ජීවත් වෙමින් වෙනත් ජාතීන් සමඟ අන්තර් ක්‍රියා නොකරන ප්‍රජාවන් පිළිබඳ අනතුර සඳහන් කළ ඔහු, එය බෙදීම හා ව්‍යසනය සඳහා වූ වට්ටෝරුවක් වන බවත්, එමඟින් අන්තවාදයට මඟ පාදන බවත් පැවසීය. ශ්‍රී ලංකා රජය සමඟ පැවති සංවාදය සහ කොවිඩ්-19 වසංගතයෙන් මියගිය මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින් මුස්ලිම් සම්ප්‍රදායන්ට අනුව භූමදානය කිරීමට ඉඩ සැලසීම සඳහා ගෙන ඇති පියවර ඔහු අගය කළේය.
ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය අන්තවාදය, ප්‍රචණ්ඩත්වය සහ වෛරයට එරෙහිව නැගී සිටින බව අවධාරණය කළ ඔහු, ප්‍රජාවන් අතර ඝර්‍ෂණයක් ඇති කරවමින් ලොව පුරා අසත්‍ය තොරතුරු පතුරුවන සමාජ මාධ්‍ය සහ වෙනත් මෙවලම් හේතුවෙන් වැරදි තොරතුරු ලබා දීම ඉහළ යන බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සියළු දෙනාටම තම සම්ප්‍රදායන් හා සංස්කෘතීන් එක හා සමානව හා කිසිදු භේදයකින් හෝ බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසන රටක් බව අමාත්‍යවරයා පැවසීය. රට තුළ පවතින පද්ධතීන් හේතුවෙන් රජයේ, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ කැපී පෙනෙන තනතුරු ගණනාවක් මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින් විසින් අත්පත් කරගෙන ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
නිරත වීමට නියමිතව පැවති සංචාරය කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කල් දැමීමට සිදු වූ බැවින්, භූමියේ සිදුවන වර්ධනයන් මුලින්ම දැක ගැනීම සඳහා ශ්‍රී ලංකාව වෙත පැමිණෙන දූත පිරිසකට නායකත්වය දෙන ලෙස විදේශ අමාත්‍ය පීරිස් මහතා මහලේකම්වරයාට ආරාධනාවක් කළේය.