යුගදනවි විදුලි බලාගාරයේ කොටස් සියයට 40 ක් අමෙරිකාවේ ෆෝට්‍රස් සමාගමට පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නායකයින් ඇතුළු දේශපාලනඥයින් පිරිසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි, නිල නිවසට අද (21) සවස රැස්වී සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙවන් සාකච්ඡාවක් ඊයේ (20) දිනයේදීත් බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක් එම රැස්වීමට සහභාගිවී සිටි අතර යුගදනව් විදුලි බලාගාරයේ කොටස් සියයට 40 ක් අමෙරිකානු සමාගමට පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි විරෝධය දැක්වීමට එහිදී තීරණය වී තිබුණි.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ අද පැවැති සාකච්ඡාව එහි දිගුවකි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ,ඇමති වාසුදේව නානයක්කාර , රාජ්‍ය ඇමැතිවරුන් වන දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජයන්ත සමරවීර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ගෙවිදු කුමාරතුංග, වීරසුමන වීරසිංහ ,කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ නිවසට රැස්ව සිට ඇත.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට පක්ෂ නායකයින් මෙම රැස්වීමේදී තීරණය කර ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය. බොහෝ විට අගමැතිවරයා සමග එම සාකච්ඡාව හෙට පැවැත්වීමට ඇති ඉඩකඩ බොහෝ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේය.