ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 3-0 ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව අද (14) රාත්‍රීයේ සමත්විය.
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 120කට සීමා කිරීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. කඩුලු 8ක් දැවී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 120 සීමාව කිසිම කඩුල්ලක් දැවී යාමට ඉඩ නොතබා පන්දුවාර 14.4 කින් සපුරා ගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්වින්ටන් ඩි කොක් පන්දු 46ක දී ලකුණු 59ක් ලබා ගත් අතර ඊට හතරෙ පහරවල් හතක් අන්තර්ගත විය. ඔහු සමඟ ආරම්භක කඩුල්ලේ වාර්තාගත සම්බන්ධතාව පැවැත්වූ රීසා හෙන්ඩ්‍රිරික්ස් පන්දු 42කදී ලකුණු 56ක් ලබා ගත්තේය. ඔහු සිය ඉනිම හතරෙ පහරවල් පහකින් සහ එක් හයේ පහරකින් අලංකාරවත් කළේය.
ශ්‍රී ලංකා කිසිම පන්දු යවන්නෙකුට පන්දුවාරයට ලකුණු 7ට අඩු සාමාන්‍යයක් රඳවා ගැනීමට හෝ නොහැකි විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ එකම ක්‍රීඩකයා වූයේ කුසල් පෙරේරා පමණි. ඔහු පන්දු තිස් තුනක දී ලකුණු 39ක් ලබා ගත්තේය.
විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් විස්සයි විස්ස තරගාවලිය මෙය වේ. ඒ අනුව ලෝක ක්‍රිකට් තුළ ශ්‍රී ලංකාවේ නම තවදුරටත් තබා ගැනීමට වෙනස් තරග රටාවකින් ලෝක කුසලානයට ප්‍රවිශ්ට වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කටයුතු කළ යුතු යැයි ක්‍රිකට් විචාරකයෝ පවසති.
2014 වසරේ දී ශ්‍රී ලංකාවට විස්සයි විස්ස ලෝක කුසලානය දිනා දීමට නායකත්වය ගත් ලසිත් මාලිංග අද දිනයේ විස්සයි විස්ස තරග සඳහා ද සිය සමුගැනීම නිවේදනය කළේය. ඒ ඔහු ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොවන බව තහවුරු වී පැය 48ක් ගතවීමට පෙරාතුවය.