තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ අගමැති හමුවෙති

    ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ අගමැති හමුවෙති

    ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සුහඳ හමුවක් අද (14) දින බොලොඤ්ඤා හි දී පැවැත්විණි.

    ඉතාලියේ විවිධ නගර නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලාංකික නියෝජිතයන් පිරිසක් මෙලෙස අග්‍රාමාත්‍යවරයා නවාතැන්ගෙන සිටින බොලොඤ්ඤා හෝටලයේ දී සුහද කතාබහකට එක් වූහ.

    කොවිඩ්-19 වසංගතය තත්ත්වය හමුවේ වුවද ඉතාලියේ සංචාරය කරමින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසකට මෙවැනි හමුවක් සඳහා ඉඩ ලබාදීම ගැන ශ්‍රී ලාංකික නියෝජිත පිරිස පළමුව අග්‍රාමාත්‍යවරයාට සිය ස්තුතිය පුද කළහ.

    අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වශයෙන් සිටි කාලය තුළ ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් ද්වි පාර්ශවීය මිතුදම් හේතුවෙන් මේ දක්වා එරට සිටින ශ්‍රී ලාංකික ජනතාවට ලැබෙන පහසුකම් පිළිබඳව ද පැමිණ සිටි පිරිස සිහිපත් කළහ.

    මිලාන් නගරයට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීමට එවකට ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් දූරදර්ශී ක්‍රියාපිළිවෙත හේතුවෙන් ගැටලු නිරාකරණය කර ගැනීමේ දී ශ්‍රී ලාංකිකයන් රැසකගේ කාලය සහ මුදල් ඉතිරිවන බව මෙහි දී සඳහන් විය.

    අනාගතයේ යම් දවසක නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට වසර විස්සක සේවා කාලයකින් පසුව එරටින් ලබාදෙන විශ්‍රාම වැටුප මව්බිමට පැමිණි පසුවද ලබාගැනීමේ හැකියාවක් උදාකර දෙන්නැයි පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

    අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඉතාලි රජය සමඟ සාකච්ඡා කරන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේදීම උපදෙස් දුන්නේය.

    ජී 20 අන්තර් ආගමික සංසදය (G20 Interfaith Forum) ට එක්වීම සඳහා ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා ඉදිරි දින කිහිපයේ දී රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට නියමිතව ඇත.

    මෙම හමුවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, ඉතාලියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img