තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයට පවරාගත් හාල් තොග අතර රාජ්‍ය ඇමතිවරයකුගේ සහලුත්

    රජයට පවරාගත් හාල් තොග අතර රාජ්‍ය ඇමතිවරයකුගේ සහලුත්

    පොළොන්නරුවේ මහාපරිමාණ සහල් මෝල් හිමියන් සතුව තිබූ සහල් මෙට්‍රික් ටොන් 1000ක තොගයක් රජයට පවරාගෙන සතොස වෙත භාරදී තිබේ.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින මහාපරිමාණ සහල් මෝල් හිමියන් වන අරලිය, නිපුන සහ රත්න යන ප්‍රමුඛ පෙලේ සහල් ව්‍යාපාරිකයින් සතුව තිබූ සහල් තොග ප්‍රමාණයක් එලෙස රජයට පවරාගෙන ඇතැයි වාර්තා වේ.

    අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී නිවුන්හැල්ල මහතා ඇතුලු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් පොළොන්නරුවේ පිහිටි අදාළ සහල් මෝල් වෙත පැමිණ එම සහල් තොග රජය භාරයට ගෙන තිබේ.

    පාලන මිලට වෙළෙඳපොළට සහල් නිකුත් නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂාකර, හදිසි නීති රෙගුලාසි යටතේ ඒවා රජයේ භාරයට ගෙන, පාලන මිලට වෙළෙඳපොළට නිකුත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දුන් අතර ඒ අනුව මෙම සහල් තොග රජයේ භාරයට ගත් බව වෙළඳ අමාත්‍යංශය සඳහන් කරයි.

    මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාට අයත් නිපුන සහල් මෝල වෙතද ඊයේ (08) පෙරවරුවේ පැමිණි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ඇතුලු නිලධාරීන් පිරිසක් එහි තිබූ සහල් තොගයක් ද රජයට පවරාගෙන ඇත.

    පසුව ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සහල් මෝල වෙත පැමිණි නිලධාරින් පිරිස එහි තිබූ සහල් තොගයක් ද රත්න සහල් මෝලේ තිබූ තවත් සහල් තොගයක් ද රජයට පවරා ගැනීමට කටයුතු කර ඇත.

    ඒ අනුව සහල් මෝල් 08ක තිබී සහල් මෙට්‍රික් ටොන් 1,000ක ප්‍රමාණයක් මෙලෙස සොයාගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img